රනිල් අද කොමිසම හමුවට

  👤  3497 readers have read this article !
By mawbima 2017-11-20

මහ බැංකු බැඳුම්කර මහා මගඩිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක යෙදෙන ජනාධිපති විමර්ශන කොමිසම නිකුත් කළ නොතීසියක් අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20දා) එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ශ්‍රී ලංකා මහ බැංකුව තමා යටතට පත්කර ගැනීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහි අධිපතිවරයා වශයෙන් පත්කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ පාලන කාලය තුළ පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී සිදුව ඇති බවට අනාවරණය වී ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති ජනාධිපති විමර්ශන කොමිසම මෙලෙස අගමැතිවරයා කොමිසම හමුවේ ප්‍රසිද්ධ සාක්ෂි විභාගයක් සඳහා කැඳවා ඇත්තේ ඔහුගෙන් කොමිසමට තහවුරු කර ගත යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දිවුරුම් පිට ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

අගමැතිවරයාගේ නම කොමිසම හමුවේ සාක්ෂි දුන් ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙනකුගේම සාක්ෂිවලදී සඳහන් වීමත්, ප්‍රථම ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසිය සිදුවූ දිනයේම (2015 පෙබ. 27 දින) උදේ 7.39 සිට රාත්‍රි 8.08 දක්වා කාලය තුළ අර්ජුන මහේන්ද්‍රන් හා අගමැතිවරයා අතර දුරකතන සංවාද 10ක්ම පැවැත්වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යා විමර්ශන මඟින් කොමිසම හමුවේ අනාවරණය කිරීමත් මත එම කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් මෙලෙස දිවුරුම් පිට ප්‍රකාශ ලබාගත යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුවේ කොමිසමට සහාය වන රාජ්‍ය නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
කොමිසම ඉකුත් ඔක්තෝබර් මස 16 වැනි දින ප්‍රථම වරට ප්‍රශ්න මාලාවක් යොමු කරමින් ඒවාට දිවුරුම් ප්‍රකාශ සහිතව පිළිතුරු ලබාදෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි අතර සති 02කට පසු අගමැතිවරයා එම ප්‍රශ්න මාලාවට පිළිතුරු පත්‍රයක් එවා ඇත.

කොමිසම හමුවේ අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් කොමිසමට අවශ්‍යව ඇති තහවුරු කර ගැනීම් සඳහා එකී පිළිතුරු ප්‍රමාණවත් නොවන බව නීතිපති අංශය විසින් පෙන්වා දී ඇති අතර ඒ අනුව දෙවැනි වරටත් තවත් ප්‍රශ්න මාලාවක් මේ මස මුල් සතියේදී අගමැතිවරයා වෙත යොමුකරනු ලැබීය.

එම ප්‍රශ්න මාලාව නීතිපති අංශය විසින්ම පිළියෙල කරන ලද්දක් වන අතර, එකී ප්‍රශ්න මාලාවට ඉකුත් සිකුරාදා වනතුරුත් අගමැතිවරයාගෙන් පිළිතුරු ලැබී නොතිබිණි.
අද දිනයේ කොමිසම හමුවේදී එකී ප්‍රශ්න අගමැතිවරයාට විවෘත සාක්ෂි විභාගයේදී ඉදිරිපත් කොට දිවුරුම්පිට ඒවාට අගමැතිවරයාගෙන් පිළිතුරු ලබාගැනීමට නියමිතය.
අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීම නීතිපතිවරයා විසින්ම සිදුකරනු ලබන බවට මතවාදයක් පැතිර ගියද මෙම පුවත සකසන මොහොත වනතුරුත් එවැන්නක් තහවුරු කරගත නොහැකි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon