කොස්ගොඩ පාතාලයෙන් වෙඩි තියල මරපු මහින්ද රාජාගේ සොහොයුරා ‘මව්බිම’ සමඟ කතා කරයි

  👤  4107 readers have read this article !
By mawbima 2017-11-19

නිහඬ බව සැහැසිය. මැද මාවත බියකරුය. හේ තවදුරටත් නිහඬ බව සහ මැද මාවත නොසිදුවීම් නිසාය. සිදුවීමක් නම් ඒ පිළිබඳ අදහසක් පහළ කර ගැනීමට අසීරු නොවේ. කොස්ගොඩ මුල් කරගනිමින් දකුණේ පාතාලය අද වනවිට ගිලීගොස් ඇත්තේ දැඩි නිහඬ බවකය.

කොස්ගොඩ සුජී ඩුබායි සිට රුසියාවට පලාගොස් ඇති බව බුද්ධි අංශ සැක කරයි. කොස්ගොඩ තාරක තවදුරටත් ලංකාව තුළ නිදැල්ලේ හැසිරෙයි. එම නිසාම දකුණේ පාතාලය සමඟ බොහෝවිට කියැවෙන්නේ තාරකගේ නමය. මාකඳුරේ මධුෂ් දකුණ පාලනය කරන පාතාල රජු වුණත් පසුගිය දිනවල සිදු වූ සිදුවීම් නිසා කරළියට පැමිණ ඇත්තේ කොස්ගොඩ තාරකය. පසුගිය දිනක අප පුවත්පත ඇමතූ කොස්ගොඩ තාරක පවසා ඇත්තේ දකුණේ සිදුවීම් බොහෝදුරට නිවැරැදිව වාර්තා කරන නිසා දකුණේදී ඉදිරියට සිදුවීම්ට ඇති දෑද එලෙසින් වාර්තා කරයි යන විශ්වාසය තමන් සතු බවය. තමන් පාතාල සාමාජිකයෙක් නොවන බවත් තමන්ගේ පවුලේ උදවිය ඉලක්ක කරගෙන කොස්ගොඩ සුජීගේ කණ්ඩායම සිදු කරන පහරදීම් හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය නොකර එයට ප්‍රතිඋත්තර සැපයීම් තමන් විසින් තවදුරටත් සිදු කරන බවය. අවසාන මොහොත දක්වා එම කාර්යය සිදුකිරීම හැර අන්විකල්පයක් තමන් අත නොමැති බවත් තවදුරටත් පවසා ඇති තාරක තමන් උපන් ගම වන වතුරවෙලට ගොස් එහි තත්ත්වය දැක බලා ගන්නේ නම් වඩාත් හොඳ බවද පවසා තිබේ.

තාරක උසස් පෙළට හදාරා ඇත්තේ ගණිත විෂයයන්ය. නාවික ක්ෂේත්‍රය සම්බන්ධ පාඨමාලාවක් හැදෑරීම තාරකගේ අරමුණ වීලු! තම පියාගේ අකල් වියෝව නිසා අධ්‍යාපන කටයුතු අතරමඟදී අත්හැර දමන තාරක පියා සිදුකළ අත්ට්‍රැක්ටර් පැදවීමේ රැකියාව සිදු කර ඇත්තේ පවුලේ බර සිය උර මත පැටවුණු නිසාය. කුරුඳු තැළීම ජීවිකාව වශයෙන් සිදු කළ තාරකගේ මව දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක් නඩත්තු කරගෙන ගොස් ඇත්තේ ඉතාමත් අසීරුවෙන් යැයි කියැවේ. මෙම තත්ත්වය හමුවේ ඉගෙනීමට මුල්තැනක් දීමට නොහැකි වූ තාරක ගංජා සහ කුඩු ජාවාරම් කරන්නට ගත් බව කියැවේ. අම්බලන්ගොඩ නන්‍ෙදාරේ ප්‍රදේශයෙන් කුලී ගමනක් යෑමටයි කියා රැගෙන ගිය වෑන් රථයක් 2001 වර්ෂයේදී කොල්ලකා තම නම පොලිස් පොත්වල ලියවා ගන්නා විට තාරකගේ වයස අවුරුදු 19කි. එම කොල්ලය යටතේ තවත් තිදෙනකු සමඟ රිමාන්ඩ් බන්ධනාගාර ගතවන තාරක බන්ධනාගාරයෙන් ඇප මත පැමිණෙන්නේ අපරාධ ලෝකය පිළිබඳ හොඳ දැනුමක් සහ වැඩි සම්බන්ධතා ගොන්නක් වර්ධනය කරගෙනය. සුළුවෙන් සිදුකළ කිරිමෙල් ව්‍යාපාර මහා පරිමාණයෙන් සිදු කිරීමට තාරක ක්‍රියාකරන්නේ බන්ධනාගාරගත වීමෙන් අනතුරුවය. අතමිට සරු තාරක ගණන්කාරයෙක් වීමට උත්සහ ගන්නේ තම පවුලේ ඥාති සහෝදරයෙක් වන කොස්ගොඩ සුජීට වෙට්ටුව දමාය. දකුණේ පාතාලයේ කෙරුමා කොස්ගොඩ සුජීය. දකුණේ පාතාලයේ මහමොළකරු මාකඳුරේ මධුෂ්ය. මොවුන් ෆලෝලේ යන්නට ගත් තාරක සුජී සමඟ ගැටුම් ඇති කරගන්නේ කොස්ගොඩ ලොකූ මුල්කරගෙනය. අවස්ථා කීපයකදීම සුජීගේ පාතාල මැරයන් තාරක ඝාතනය කිරීමට උත්සාහ ගත්තත් තාරක ජීවිතය ගලවා ගන්නේ සූක්ෂ්ම අයුරිනි.

අම්බලන්ගොඩ වතුගෙදර පිහිටි රන් භාණ්ඩ උකස් ගන්නා ව්‍යාපාරයක මෙරට යුවළකගේ නිවෙසක් කොල්ලකන තාරක මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමඟින් 2010 වර්ෂයේදී කොට්ටාව පොලිසියට කොටු වෙන්නේ එම රන් භාණ්ඩවලින් කොටසක් උකස් කිරීමට ගත් උත්සාහයකදීය. වැලිකඩ බන්ධනාගාරයේ සිටින කාලය තුළ කොළඹ පාතාලයේ කෙරුමන් රැසක් දැන හඳුනා ගන්නා තාරක ඔවුන් අතරින් වාඩාත් කිට්ටු වන්නේ අංගොඩ ලොක්කාට සහ හබරකඩ වසන්තට බව කියැවේ. කොස්ගොඩ සුජී විසින් මරණ වරෙන්තු නිකුත් කර සිටි තාරක හබරකඩ වසන්තගේ සරණ යෑම අහම්බයක් නොවේ. එතැන් සිට මංකොල්ලකෑම් සඳහා තාරකව යෙදවූයේ වසන්තය.

තාරක රන් මංකොල්ලයෙන් පසු කොළඹට තදාසන්න ප්‍රදේශයකට පැනවිත් ඇත්තේ ඔහු ප්‍රේමයෙන් වෙළී සිටි පිටිගල ප්‍රදේශයේ තරුණියක සමඟය. ඇයගේ පියා පොලිස් සැරයන්වරයෙකි. මෙම පෙම් පලහිලව්ව නිසා එම තරුණියටද සිදුව ඇත්තේ බන්ධනාගාරගත වීමටය. 2011 වර්ෂයේ සිට රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු, මූල්‍ය ආයතන රැසක් කොල්ලකෑමේ චෝදනා තාරකට එල්ල වී ඇති අතර ඒ පිළිබඳව නඩු රැසක්ද මේ වනවිට විභාග වෙමින් පවතී. පසුගිය දිනක තාරකගේ කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයකින් මරුමුවට පත් බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි මහින්ද රාජා මහතාගේ වැඩිමහල් සොහොයුරු ජයමුණි මහින්ද සොයිසා උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ අප සමඟ නිරත වූ සංවාදය පහත පරිදිය.

දකුණේ ඇති වෙලා තියෙන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
ඊට කලින් මට කියන්න ඕන කොස්ගොඩ සුජී අප නිවෙසේ, ඒ කියන්නේ මගේ මල්ලිගේ නිවෙසේ රැකවරණය ලබාගෙන සිටියේ නැහැ කියලා. මගේ මල්ලිවත් අපේ පවුලේ කිසිම කෙනෙක්වත් පාතාලය ආශ්‍රය කරන්නේ නැහැ. මැරිච්ච මල්ලිත් එක්ක අපේ පවුලේ ඔක්කොම 8යි. අක්කලා 2යි, අයියලා 3යි, මමයි, මල්ලියි, නංගියි විතරයි අපේ පවුලේ අය. අපි බොහොම දුක් මහන්සියෙන් ජීවිතය ගොඩනඟා ගත් උදවිය. අනුන්ගේ කියලා කිසිම දෙයක් ගන්න එපා කියලයි අපෙ අම්මා, තාත්තා අපිට කියලා දුන්නේ.
මට කියන්න මහින්ද රාජා මහත්තයගේ ඒ කියන්නෙ ඔයාගෙ මල්ලිගෙ මරණයට හේතු වුණු ආසන්නතම සිදුවීම මොක්කද කියලා?

මගේ මල්ලි ව්‍යාපාරිකයෙක්. එයා උත්සව භාණ්ඩ සඳහා අවශ්‍ය ව්‍යාපාරයක් සිදුකරගෙන ගියා. ගොඩක් අය කියන විදියට එයා ඉඩම් ගොඩ කරලා ඒ කියන්නේ සංවර්ධනය කරලා විකුණනවා වගේ වැඩ කළේ නැහැ. බ්ලොක් ගල් ව්‍යාපාරය තමයි එයාගෙ ප්‍රධාන ව්‍යාපාරය වුණේ. මල්ලි එයාගෙ පුතා අයේෂ්ට ටිපර් එකක් අරන් දුන්නා. තරුණ ළමයිනේ... අයේෂ් ඒ ටිපර් එක කොස්ගොඩ ලොකූ කියන කෙනාගේ ඇඟට කැපුවා කියලා ලොකූ මල්ලිගෙ ගෙදරට පැනලා උඹලා දූරගහ හතුරෝ නේද කියලා අහලා මුළු පවුලම කපලා කොටලා දැම්මා. ඒ නඩුව අන්තිමට විභාගයට ගත්තේ පහුගිය 09 වැනිදා.
සමාවෙන්න එතකොට දකුණේ පාතාලය එක්ක කුල ප්‍රශ්නයකුත් තියෙනවද?

නෑ. මෙහෙමයි තාරකලා සුජීලා අපි වහුම්පුර අෑයෝ. මිනිස්සුන්ගේ හිත්වල ඔය වගේ දේවලුත් ඇතිනේ.
හරි මට කියන්න කොස්ගොඩ සුජී ඔයාලගේ කවුද කියල?
අපේ තාත්තාගේ අයියගෙ පුතාගෙ පුතා තමයි කොස්ගොඩ සුජී.
එතකොට මට කියන්න තාරක ඔයාලගෙ කවුද කියලා?
තාරකත් අපේ තාත්තගෙ අයියගෙ පුතාගෙ පුතෙක්.

එතකොට තාරකයි සුජීයි බොහොම ළඟ නෑයෝ නේද? මම අහල තියෙනවා තාරකට කිට්ටු ඥාති සම්බන්ධයක් ඔයාගෙ මල්ලිගෙ බිරියගෙ පැත්තෙනුත් තියෙනවා කියලා. ඒක ඇත්තද?

මේ මිනිස්සු ඔක්කොම ළඟ ඥාති තමයි. ඒත් අපි කවම කවදාවත් මේ ගොල්ලො එක්ක ඇයි හො¼දැයියකට ගිය අය නෙමේ. අපේ පවුලේ අය අමාරුවෙන් ඉගෙන ගත්ත උදවිය. රජයේ රැකියා කරන අයත් අපේ පවුලේ ඉන්නවා. ඒ හින්දම අපි කිසිම වෙලාවක ඔය පාතාලෙ කියන අයව ආශ්‍රය කරන්නේ නැහැ. අපිට තාරකයි සුජීයි දෙන්නම එකයි. මේ අවට එක පොලිසියකවත් අපේ පවුලේ අයගෙ නම් ලියවිලා නැහැ. බළපිටියෙ මහින්ද හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම යටතේ තමයි මගේ මල්ලි ව්‍යාපාර කටයුතුත් පවත්වාගෙන ගියේ.

ඔය කොහොම කිව්වත් ඔයාලට සුජීයි තාරකවයි ආශ්‍රය කරන්න ලැබිලා ඇතිනෙ?
අපේ පවුලේ ඥාති කියන එක අතෑරලා දාන්න පුළුවන් එකක් නෙමෙයිනේ. එහෙම අවස්ථා තිබුණා. ඒත් කවම කවදාකවත් කිට්ටු ආශ්‍රයක් අපි ඔය පවුල් දෙක එක්කම තියා ගත්තේ නැහැ.
දැන් ඔබ ඔහොම කිව්වට ඔයාගෙ මල්ලිගෙ පවුලේ අයව කපලා කොටලා දාපු කොස්ගොඩ ලොකූව කොස්ගොඩ සුජී මරපු හින්දා ඒ පළිය ගන්න නේද තාරකලගෙ කණ්ඩායම ඔයාගෙ මල්ලිව මරලා දැම්මේ?

ඒක ගැන නම් අපි දන්නේ නෑ.
හරි ඒක අපි අතෑරල දාමු. ඊට පස්සේ මේ ළඟකදී කොස්ගොඩ සුජීට මාමා වෙන කෙනෙක්ට කොස්ගොඩ තාරකගේ කණ්ඩායම වෙඩි තිබ්බා නේද?
ඒක ගැනත් අපි නම් දන්නේ නෑ. ඒගොල්ලො කරන දේවල් ගැන අපිට වගකියන්නත් බෑ. අපෙන් අහල වැඩකුත් නෑ. බොහොම සරලව කියන්න තියෙන්නේ අපි කොස්ගොඩ තාරකවයි කොස්ගොඩ සුජීවයි ආශ්‍රය කරලත් නැහැ. එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නැහැ කියලා.

ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක වැඩියෙන්ම හානි වුණේ ඔයාලගේ පවුලෙ අයට. ඒක ඔයාලා දකින්නෙ කොහොමද?
අපිට පොලිස් ආරක්ෂාව දීලා තියෙනවා. පොලිස් ආරක්ෂාව දුන්නත් සාමාන්‍ය මිනිස්සු වගේ අපිට හැසිරෙන්න බෑ. මල්ලි කරගෙන ආපු ව්‍යාපාර කරගෙන යන්න විදියක් නෑ. වාහනවල, මෝටර් සයිකල්වල ෆිනෑන්ස් වාරික දාගන්න බැරි තත්ත්වයක් අපිට තියෙන්නේ. මල්ලි එක්ක එයාගේ පවුලේ බර කරට අරන් හිටිය පුතාවත් මේ කාලකණ්ණි මරලා දැම්මා. එතකොට මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්නේ? කොහොම වුණත් මම මෙච්චර වෙලා හරි ඔයත් එක්ක කතාබහ කළේ අපි කොස්ගොඩ සුජීටවත් කොස්ගොඩ තාරකටවත් කැමැති නැහැ. මේ වගේ මිනිස්සු ආශ්‍රය කළේවත් නෑ කියන්න.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් කොස්ගොඩ සුජීගේ මව සහ වැඩිමහල් සහෝදරියත් දේශපාලන කරලියට රැගෙන ඒමට දකුණේ ප්‍රබල දේශපාලනඥයකු උත්සාහ දරන නිසා එයට ප්‍රතිඋත්තර සැපයීම සඳහා තවත් දේශපාලනඥයකු කොස්ගොඩ තාරකගේ මව දේශපාලනයට රැගෙන ඒමට උත්සාහ දරන බව පැවැසේ. මෙම පවුල්වල උදවියගේ දේශපාලන ආගමනය ලේ වැගිරීමකට මුල් විය හැකි යැයි බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ. පාතාලයට සහාය දෙන දේශපාලනඥයන් අතරින් මෑතකදී කරළියට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ ජේ‍යෂ්ඨ දේශපාලනඥයකු කොස්ගොඩ සුජීගේ සොහොයුරියට සහ තාරකගේ මවට පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂයෙන් නාම යෝජනා ලබා දීමට උත්සාහ ගන්නා බවද පැවැසේ. එක ගලින් කුරුල්ලන් දෙදෙනකු ඩැහැගැනීමේ උපක්‍රමය ඇති මෙම දේශපාලනඥයාගේ පුතෙක් විසින් ඩුබායි රටේ සිටි කොස්ගොඩ සුජීගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සුජීව රුසියාවට රැගෙන ගොස් ඇති බව බුද්ධි අංශ සැක පහළ කරයි. මේ වනවිට දකුණේ දේශපාලනඥයන් සිවු දෙනකු පාතාලය සමඟ ඇතිකරගෙන තිබෙන ඇයි හො¼දැයියේ ප්‍රතිඵල සැහැසි නිහඬතාවයෙන් පසුව දැකබලා ගැනීමට හැකිවේ යන්න බොහෝ දෙනකුගේ විශ්වාසයයි.

ප්‍රභාත් අත්තනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon