විද්‍යා දූෂකයා හොරෙන්ම පැන්නුවට යාපනයේ හර්තාල්

  👤  4035 readers have read this article !
By mawbima 2017-11-19

විද්‍යා ඝාතනයෙන් පුණ්කුඩුතිව් දිවයින පමණක් නොව යාපනය අර්ධද්වීපයම ශෝකයෙන් ඇලළී ගියේය. සිදුවීම ප්‍රචාරය වීමත් සමඟ ලොවම සොවින් තැවිණි. මෙම බිහිසුණු අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ආරක්ෂක අංශවල අවධානය විශේෂයෙන් යොමු විය. අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් යාපනය ජනතාව උද්ඝෝෂණය කරන්නට පටන් ගැනීමත් සමඟ කඩ සාප්පු වසා දැමීමෙන් හා මගී සේවා නොපැවැත්වීමෙන් ජනතා කෝපය ප්‍රකාශයට පත් විය. 14 වැනිදා පස්වරුවේ කයිට්ස් පොලිසිය විසින් පුද්ගලයන් සිවු දෙනකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබිණි.

විද්‍යාගේ අවසන් කටයුතු 15 වැනිදා පස්වරුවේ පුණ්කුඩුතිව් කන්නගි අම්මාන් කෝවිල පාරේ කනත්තේදී සිදු කරනු ලැබුවේ විශාල පිරිසකගේ සෝසුම් මැද්දේය. විද්‍යා විසින් ආදරයෙන් ඇති දැඩි කළ සුරතල් බල්ලා ඇය නැති සොවින් වැතිර සිටි දුක්මුසු විලාසය මළ ගෙදරට පැමිණි සියල්ලන්ගේ අවධානයට යොමු විය. විද්‍යා දැඩි කළ එළු පැටවාද සිටියේ කෝපයෙනි. උෟද කිසිවකුට සමීප වන්නට ඉඩ දුන්නේ නැත. විවිධ හෝඩුවාවල් ඔස්සේ හඹා ගිය පොලිසිය 15 වැනිදා තවත් සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත්තේය. මේ අතර පුණ්කුඩුතිව් ජනතාව විසින් සැකකරුවකු ලෙස අල්ලා පොලිසියට භාර දෙනු ලැබූ ස්විස් කුමාර් නමැත්තා පොලිසිය විසින් රහසේ මුදාහැර තිබීමෙන් ජනතා කෝපය රතු ඉර පැන්නේය. යාපනය ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ නියෝගය පරිදි ස්විස් කුමාර් නමැත්තා නිදහස් කර යවා තිබූ අතර කොළඹ වැල්ලවත්තේ ලොජ් එකක සිටියදී ඔහු අත්අඩංගුවට පත්විණි. ඒ අනුව විද්‍යා ශිවලෝගනාදන් දැරිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව සිටියේය. 20 වැනිදා යාපනේ හර්තාල් තත්ත්වයක් ඇති වූ අතර අධිකරණයටද නොහඳුනන පිරිස් පහරදී තිබිණි. මහජන නොසන්සුන්තාව මැඬලීමේදී 100ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි. 2015 මැයි 18 දින පස්වරුවේ යාපනය මූලස්ථාන පොලිසියට ගෙන එනු ලැබූ ස්විස් කුමාර් නමැති සැකකරු මුදාහැරීම ගැන කුපිත වූ ජනයා 20 වැනි දින ප.ව. 1.30 වනතුරු යාපනය බන්ධනාගාරයට, පොලිසියට හා අධිකරණයට පහරදීමේ සහ නගරය පුරා ටයර් පිලිස්සීමේ උද්ඝෝෂණ පැවැත්වූ අතර ඒවා මැඬපැවැත්වීමේදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගියේය.

උදේනි සමන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon