ලැබෙන වැටුපටත් වඩා වැඩියෙන් මම මහන්සියෙන් වැඩ කළා

  👤  4105 readers have read this article !
By mawbima 2017-11-19

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. විටෙක සතුට හා සිනහවෙන් පිරී යන එය තවත් විටෙක නොසිතූ ආකාරයේ අභියෝගයන්ට ලක් වෙනවා.
ඒ නිසාම තමයි කෙනෙක් ජීවිතය දෝතින්ම වැලඳ ගද්දී තවත් කෙනෙක් එය අතහරින්නට පෙලඹෙන්නේ....
නමුත් ඔබ එසේ කළ යුතු නැහැ. අවශ්‍ය වන්නේ නිසි තැනට රිසි දෙය ගළපා ගැනීම පමණයි. හෙට දවසේ මලක්ව පිපෙන්නට සිහින දකිනවා නම් අද දවසේ කටු පොකුරු සිප ගත යුතුයි.

දුෂ්කරයි කියා ජීවිතය අත්නොහැර ඊයේ දින කටුපොකුරු සිපගෙන අද දවසේ මල් මෙන් සුපුෂ්පිත දිරිය මිනිසුන්ගේ කතාවයි "කඩඉම"

අපි එතැනට ළඟාවන විට බොහෝ දෙනකු තම තමන්ගේ රාජකාරි කටයුතු නිමා කරලා ගෙවල් ‍ෙදාරවල් බලා නික්මෙන්න සූදානම්. කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා හැර අන් සියලුම දෙනා රාජකාරි නිමා කරන මොහොත වන විටත් ඔහු තමන්ගේ රාජකාරි අවසන් කොට තිබුණේ නැහැ.

ඒ මොහොතේ රාජකාරි ගමනකට ගොස් සිටි ඔහු නැවත කාර්යාලයට පැමිණියේ අපට ලබා දුන් වේලාවට ආසන්න වී තිබුණු නිසයි. ඔහු ඇඳගෙන සිටියේ නිල් පැහැ කමිසයක් හා කළු පැහැ කලිසමක්. නිල්, කළු වර්ණවලින් සමන්විත ටයි පටිය කමිසයට මනාව ගැළපිලා තිබුණා. නිහතමානී, සරල පෙනුමින් යුතු ඔහු ඉතා සුහදව අපව ඔහුගේ කාර්යාල කාමරයට රැගෙන ගියා. කාර්යාලයේ බොහෝ මේස පුටු හිස් වෙලා තිබුණා. නමුත් ඔහුට තම රාජකාරි නිමා කරන්න කිසිදු කලබලයක් තිබුණු බවක් පෙනෙන්න තිබුණේ නැහැ.
ඔහු ඉතා සන්සුන්ව කතා කරන්න පටන් ගත්තා. ඕච්ර්ණී ර්ථීචපබදඥපඵ කියන්නේ ප්‍රකට වූ ජාත්‍යන්තර විගණන ආයතනයක් නියෝජනය කරන ලංකාවේ ප්‍රධාන ශාඛාව. අපිත් එක්ක කතා බහට මුල පිරුවේ එහි ප්‍රමුඛ හවුල්කරු සුජීව රාජපක්ෂ මහතා.

නම - සුජීව රාජපක්ෂ
ගම - මාතර, තිහගොඩ ප්‍රදේශයේ කිතලගොඩ.
මව - ගෘහණියක්
පියා - ව්‍යාපාරිකයෙක්. සහ ගොවියෙක්.
පවුලේ සමාජිකයෝ -
පස් දෙනයි. පිළිවෙළින් අක්කා, මම සහ මල්ලිලා තුන්දෙනා.
පාසල - පළමු වසරේ සිට තුන්වැනි වසර දක්වා කිතලගම නැඟෙනහිර ප්‍රාථමික කනිටු විදුහල, සිවු වැනි ශේ‍ර්ණියේ සිට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
දැනට රැකියාව කරන ස්ථානය - බී.ඩී.ඕ. පාර්ට්නර්ස් (ඕච්ර්ණී ර්ථීචපබදඥපඵ) නම් විගණන ආයතනයේ ප්‍රමුඛ හවුල්කරු.
ඒක ජාත්‍යන්තර ආයතනයක්. එහි ශ්‍රී ලාංකේය හවුල්කරුවා වන්නේ අපියි.
පාසල් කාලය ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?

මම පාසල් දෙකකට ගියා. පළමු ශේ‍ර්ණියේ සිට තුන් වැනි ශේ‍ර්ණිය දක්වා කිතලගම ගමේ පාසලට. ඉන් පසුව තාත්තා මාව සිවුවැනි වසරට ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කළා. ගමේ ඉගෙන ගත්තු කොල්ලෙක්ට නගරයේ ප්‍රකට පාසලකට යන්න ලැබීම අලුත් අත්දැකීමක් වුණා.
සූට් කේස් දෙකකුත් අරන් මම තාත්තා එක්ක ගාල්ල රිච්මන්ඩ් එකට ආවා. මාව හොස්ටල් එකේ තනි කරලා තාත්තා ආපසු ගියා. එදා මට දැනුණේ මගේ ජීවිතයේ උඩු යටිකුරු වුණා වගේ හැඟීමක්. හොස්ටල්වල ජීවිතයට ඉක්මනින් පුරුදු වෙන්න බැරි වුණා. මුල් දිනවල පන්තියේ කොන්වෙලා වගේ හිටියේ. සමහර ළමයි ඉංගී්‍රසියෙන් කතා කරපු අය. තවත් අය ලොකු පවුල්වල අය. මේ හැමෝම මැද ගමෙන් ආපු මම මුලුගැන්විලා හිටියා.

හැමදේම තනියම කරගන්න සිද්ධ වුණා. උදේ නැඟිටලා පාසලට ගිහින් නැවත නේවාසිකාගාරයට එනකන් නියමිත කාල සටහනකට තමයි වැඩ කළේ. නේවාසිකාගාර ජීවිතය කාල කළමනාකරණය කරගන්න වගේම පුද්ගල විනය හදාගන්න ලොකු පිටුබලයක් වුණා. හොස්ටල් මාස්ටර් අපිව නිතරම අධීක්ෂණය කළා. සතියට එක දවසක් දෙනවා ගෙදරට ලියුම් ලියන්න. ලියුම ලියන්න අවශ්‍ය සියලුම දේ පාසලෙන් දුන්නා. මම යවපු ලියුම්වල වැඩි වාර ගණනක් තිබුණේ මට ඉන්න බෑ. මාව ගෙදර එක්කගෙන යන්න කියලයි. මාස හයක් විතර වෙනකන් මට හොස්ටල් දිවියට අනුගත වෙන්න අපහසු වුණා.

ඒ කාලෙත් ටියුෂන් තිබුණද?
ඔව්. මමත් උපකාරක පන්ති ගියා. මම පාසලට ඇතුළු වුණු මුල්ම කාලයේ දක්ෂතා පෙන්වපු ශිෂ්‍යයෙක් නෙවෙයි. නමුත් පහ, හය, හත ශේ‍ර්ණිවලට යද්දී මම හොඳින් ඉගෙන ගන්න පටන් ගත්තා. විද්‍යාව, ගණිතය විෂයන්ට ටියුෂන් ගියා.
ටියුෂන් ගාස්තුව කීයක් වුණාද?
රුපියල් 40, 50 වගේ මුදලක්.

ගමෙන් ආපු කොල්ලා නගරයේ කොල්ලන්ට වඩා දක්ෂකම් පෙන්නුවා ඒ කියන්නේ?

මට නිතරම පන්තියේ පළමුවැනියා, දෙවැනියා, තුන්වැනියා වෙන්න පුළුවන් වුණා. ප්‍රගති වාර්තාව හරිම ආසාවෙන් ගෙදරට පෙන්වන්නේ. විදුහල්පතිතුමා අතින් ප්‍රධාන රැස්වීමේදී ප්‍රගති වාර්තාව ලබාගන්න එක මට සුවිශේෂී දෙයක් සේ හැඟුණා. තාත්තා මාව බලන්න ආවම ප්‍රගති වාර්තාව තමා මුලින්ම අතට දෙන්නේ. ප්‍රතිඵල සතුටුදායක නිසා තාත්තා මාව ගාල්ලේ කඩවලට එක්කගෙන ගිහින් මම ආස කරන කෑම, බීම අරගෙන දෙනවා. පන්තියේ හිටපු අනිත් ළමයින්ගේ මවුපියෝ ඇවිත් ලකුණු අඩු පාඩම්, ප්‍රශ්න පත්‍ර බලලා ඒවා කියලා දුන්නා. නමුත් මගේ අම්මයි තාත්තටයි ඒ හැකියාව තිබුණේ නැහැ. නමුත් ඔවුන් නිතරම අපි පස්දෙනාට ඉගෙනීමේ අගය කියලා දුන්නා. අපිව උනන්දු කළා. අපි පස්දෙනාම හොඳම පාසල්වලට දාලා හොඳට ඉගැන්නුවා. ඉතින් ඔය විදියට මම ඉගෙන ගන්න උනන්දු වුණා. ගමෙන් ආපු කොල්ලා හය ශේ‍ර්ණියට යද්දී පන්ති නායකයෙක් වුණා.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්වලදී මොන වගේ ප්‍රතිඵලද ලැබුණේ?

1977 තමයි සාමාන්‍ය පෙළ ලිව්වේ. මට විශිෂ්ට සම්මාන හයක් සහ සම්මාන සාමාර්ථ දෙකක් තිබුණා. උසස් පෙළට තෝරා ගත්තේ විද්‍යා විෂයයන්. මාසයක් විතර ඒ අංශයෙන් ඉගෙනුම ලැබුවා. නමුත් මට තේරුණා ඒ විෂයයන්ට මම එතරම් දක්ෂ නැති බව. පස්සේ මම වාණිජ විෂය ධාරාව තෝරා ගත්තා. මම ඒ ගැන තාත්තාට දැන්නුවාම තාත්තා මට කිව්වා පුතාට හොඳ තීරණයක් ගන්න කියලා. ඒ වෙද්දී මම පාසලේ උප ශිෂ්‍ය නායක තනතුරු වගේම ශිෂ්‍ය නායක තනතුරුත් දරලා තිබුණා. ශිෂ්‍ය නායක තනතුර දැරීම එක්තරා අතකට මට ඉංගී්‍රසි භාෂා දැනුම වැඩි කරගන්න හේතුවක් වුණා. අපේ පවුලේ ඉංග්‍රීසි කතා කරන පරිසරයක් නොතිබුණු නිසා මට සිද්ධ වුණා ඉංග්‍රීසි භාෂාව වෙනම ඉගෙන ගන්න. උසස් පෙළ විභාගයට හතරයි දෙකයි තිබුණේ. කැම්පස් යන්න ඒ ලකුණු ප්‍රමාණය මදි වුණා. අම්මාගේ කීමට දෙවැනි වතාවටත් උසස් පෙළ ලිව්වා. නමුත් ඒ වතාවෙත් ප්‍රතිඵල සතුටුදායක වුණේ නැහැ.
විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබීම ගැන කනගාටුවක් ඇති වුණාද?
එහෙම නෑමයි කියන්නත් බෑ. මම ඊට පස්සේ ගෙදර ගියා. ගෙදර ගිහින් තාත්තාගේ තිබුණු පොඩි පොඩි වෙළෙඳ ව්‍යාපාරවලටයි, ගොවිතැන් කටයුතුවලටයි උපකාර කරගෙන හිටියා.

ඉගෙනීම එතැනින්ම එපා වුණාද?

නැහැ. ඔය අතර ජගත් කියලා මගේ යාළුවෙක් මගෙන් ඇහුවා වරලත් ගණකාධිකරණ පාඨමාලාව හදාරමුද කියලා. තාත්තත් අකැමැත්තත් දැක්වූවේ නැහැ. කොළඹ ජයා රෝඩ් එකේ අයි.ඒ.එස්. ආයතනයට ඇවිත් පාඨමාලාව හැදෑරුවා. පළමු විභාගය ලියන්නේ රත්මලානේ අපේ ඥාති කෙනෙක්ගේ ගෙදර ඉඳලා. අපේ තාත්තාගේ ව්‍යාපාරවල පොත් තැබීම කළේ සංඝදාස කියලා මහත්තයෙක්. ඔහු අපේ තාත්තාට කිව්වා මම වරලත් ගණකාධිකරණය හදාරන නිසා ප්‍රයෝගික පුහුණුවකුත් තිබීම වඩාත් හොඳ බව.
ඒ අනුව තාත්තා මාව කොළඹ කොටුවේ ගෆූර් බිල්ඩිමට එක්කගෙන ආවා.

ඒ මොකටද?

ඒ ගොඩනැඟිල්ලේ තිබුණු පනින්කාර් සහ සමාගමට තමයි අපි ගියේ. ඒක විගණන ආයතනයක්. තාත්තාගේ ව්‍යාපාරවල ගිණුම් කටයුතු කළෙත් ඒ ආයතනයෙන්. එහිදී මට ලිඛිත විභාගයකට මුහුණ දෙන්න සිදු වුණා.

විභාගයෙන් පසුව?

1983 දෙසැම්බර් පළමුවැනිදා ඉඳලා මම ඒ ආයතනයේ පුහුණු වෙන විගණන නිලධාරියෙක් විදියට සේවයට එක් වුණා. මැනිං මාර්කට් එකේ වෙළෙ¼දාම් කරපු අපේ ඥාතිවරයෙක්ගේ නිවෙසක ඉඳලා තමයි මම රස්සාවට ගියේ.

පළමුවැනි රැකියාවෙන් ලැබුණු පළමුවැනි වැටුප කීයද?

වැටුපක් නැහැ. ඒක පුහුණු දීමනාවක්. මට රුපියල් 300ක දීමනාවක් ලැබුණා. ඒකෙන් සේවක අර්ථසාධක මුදල් කැපිලා අතට ආවේ රුපියල් 270යි.
කොළඹ ජීවත් වෙන්න ඒ මුදල ප්‍රමාණවත් වුණාද?

ඒ මුදල ප්‍රමාණවත් වුණේ නැහැ. මොකද මම ඒ වෙද්දිත් ගණකාධිකරණ පාඨමාලව හදාරනවා. තාත්තට හැකියාවක් තිබුණා මට මුදලින් උදවු කරන්න. තාත්තා මට නිතරම කිව්වේ "ඔය ළමයා කවදාහරි වරලත් ගණකාධිකාරවරයෙක් වෙන්න ඕන" කියලයි. ඒ අතර මම ඉදිරි විභාග ටිකත් සම්පූර්ණ කළා.
විභාගවලට පාඩම් කර කර රස්සාව කරන්න ලේසි වුණාද?

මම හැමෝගෙම හිත දිනාගෙන කැපවීමෙන් රැකියාව කළා. ලැබෙන වැටුපටත් වඩා වැඩිපුර මම මහන්සියෙන් වැඩ කළා. ඒ නිසාම මගේ හැකියාව දැකපු ප්‍රධානින් මාව ජේ‍යෂ්ඨ ගණකාධිකාරවරයෙක් විදියට උසස් කළා. ඒ නිසා මට පනික්කාර් සහ සමාගමේ ප්‍රධාන සමාගම වන බුරාහාති සමාගමට යන්න හැකිවුණා. ඉන් පසුව මට අවශ්‍ය වුණා ඒ සමාගමේ හවුල්කරුවෙක් වෙන්න. 1994 වසරේ මම බුරාහාති සමාගමේ ව්‍යාපාර හවුල්කරුවෙක් බවට පත්වුණා. මට මගේ හීනය සැබෑ කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ වයස 33දී මම වරලත් ගණකාධිකාරවරයෙක්.

ඒ වන විට රැකියාව සම්බන්ධයෙන් ඉලක්ක තිබුණාද?
ඔව්. මට රැකියාව සම්බන්ධයෙන් ඊට අදාළ වූ ඉලක්ක හා ඒ ඉලක්ක සපුරාගත යුතු ආකාරය පිළිබඳව සැලසුම් තිබුණා. ඒ අනුව 1988 වෙද්දී මට පුළුවන් වුණා එම ආයතනයේම සහකාර විගණන කළමනාකරුවෙක් වෙන්න. ඒ වෙද්දී මම ගණකාධිකරණ පාඨමාලාව අවසන් කරලා තිබුණේ. 1992 වසරේ මම විගණන කළමනාකාරවරයෙක් විදියට උසස් වුණා.

ඒ කාලේ ඉලක්ක අතරට ආදරයට තැනක් තිබුණේ නැද්ද?
මා සමඟම වැඩ කරපු තරුණියක් සමඟ මගේ පෙම් සබඳතාවක් ඇති වුණා. ඇය කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඉතින් අපි දෙන්නා දෙපාර්ශ්වයේම ආශීර්වාදය ඇතිව 1994දී විවාහ වුණා.

විවාහ වුණාට පසුව අපි දෙන්නා කොළඹ ඇනෙක්සියක් අරගෙන පදිංචි වුණා. ඒ ජීවිතේ පහසු වුණේ නැහැ. ඉතාම පුංචි ඉඩකඩක් තමයි ඒ ගෙදර තිබුණේ. ඉතින් අපි තීරණය කළා අපේම කියලා ගෙයක් හදාගන්න. ඒ අනුව ජාතික උකස් හා ආයෝජන බැංකුවෙන් ණයක් අරගෙන පැපිලියානෙන් ඉඩමක් අරගෙන ඉතිරි මුදලින් ගේ හදාගත්තා. මගේ බිරිය සහ දියණියන් දෙදෙනා සමඟ මම එහි සතුටින් ජීවත් වෙනවා.

එතැනින් එහාට තවත් සිහින දකින්න අවශ්‍ය වුණාද?
ඔව්. මම තවමත් හීන දකිනවා. මට අවශ්‍ය වුණා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ පාලක සභාවට යන්න. මම වසර දෙකක් එහි ස්වේච්ඡාවෙන් සේවය කළා රැකියාව කරන ගමන්. ඒ නිසා ඔවුන්ට මගේ ගැන යම් පැහැදීමක් තියෙන්න ඇති. මට එහිදී අවස්ථාව ලැබුණා කවුන්සිලයට තෝරා පත් කරන නිලවරණයට ඉදිරිපත් වෙන්න. එය වසර දෙකකට වරක් පැවැත්වෙනවා.

රැකියාව කරන ආයතනයෙන් විරෝධතාවක් ආවේ නැද්ද?
විරෝධතාවක් මතු නොවුණත් මම මේ ගැන ආයතනයේ ජේ‍යෂ්ඨයන්ට දැනුම් දෙද්දී ඔවුන් මට කිව්වේ මම තවම ඒ සඳහා කාලයක් බලා සිටිය යුතුයි කියලා. නමුත් මම ඔවුන් කියන දේ අහන්නේ නැතිව නිලවරණයට ඉදිරිපත් වෙලා පළමු වතාවෙම විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තා. එහිදී මට පුළුවන් වුණා වරලත් ගණකාධිකරණ ආයතනයේ පාලක සභිකයන් හයදෙනා අතරට යන්න. එ්ක මම මගේ වෘත්තීය ජීවිතයේ ලබාගත්තු සුවිශේෂී ජයග්‍රහණයක්. ඔය අතර මම හිතුවා උපාධියක් ලබා ගන්න. මට විශ්වවිද්‍යාලයක පළමු උපාධියක් නැහැ. නමුත් මම ගණකාධිකරණ විභාග සේරම සමත් වෙලා තිබුණු නිසා මට හැකියාව ලැබුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත්් උපාධිය (ර්ඕඒ) ලබාගන්න.
එතකොට කොහොමද ඔබේ ආයතනය ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙන්නේ?
මම හැමදාමත් සම්ප්‍රදායෙන් එහා යමක් කරන්න හිතපු කෙනෙක්. මට ගතානුගතික විදියට ආයතනය පවත්වාගෙන යන්න අවශ්‍ය වුණේ නැහැ. ඉතින් මම ආයතනයේ සෙසු ජේ‍යෂ්ඨයෝ සමඟ කතාබහ කරලා තීරණයකට ආවා ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙන්න. ඉතින් අපි ජාත්‍යන්තර විගණන ආයතනයකට අයැදුම් කළාම ඒ අය ඇවිත් අපේ ආයතනය පරීක්ෂා කළා. ඉන් පසුව ඕච්ර්ණී ධ්දබඥපදචබඪධදචත ඹ්ඪථඪබඥඤ කියන ආයතනයේ ශ්‍රී ලාංකේය නියෝජිතයා විදියට අපව තෝරා ගත්තා. ඒ අතරතුර මම වරලත් ගණකාධිකරණ ආයතනයේ උප සභාපති තේරීමේ නිලවරණයට ඉදිරිපත් වුණා. එහිදී මට විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන උප සභාපති තනතුර ලබාගන්නට හැකි වුණා. වසර දෙකකින් පසුව නිතරගයෙන් මට එහි සභාපති වෙන්නත් හැකියාව ලැබුණා. ඒ වෙද්දි සභාපතිවරු 20 දෙනෙක් පත්වෙලා හිටියා. මට භාග්‍යය හිමිවුණා. 21 වැනි සභාපතිවරයා බවට පත් වෙන්න.

ඕනෑම තනතුරක රැඳී ඉන්න නම් ඒ විෂයට අදාළ දැනුමින් සන්නද්ධ විය යුතුයි. ඔබත් එහෙම දැනුම සොයා යන කෙනෙක්ද?
ඔව්. මමත් දැනුම පිපාසිතයෙක්. නමුත් අද තියෙන තොරතුරු හා දැනුම හෙට වෙද්දී වෙනස් වෙනවා. ඒ නිසා මම නිතරම පොත්පත්, පුවත්පත් කියවනවා. අන්තර්ජාල පිරික්සුම් කරනවා සහ වරලත් ගණකාධිකාරි ආයතනයෙන් පවත්වන දේශන, සම්මන්ත්‍රණ, පුහුණුවීම් හා වැඩමුළුවලට සහභාගි වෙනවා.
ආගම සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

මම බෞද්ධයෙක්. මම ආගමික කටයුතුවලට නැඹුරුවක් දක්වන කෙනෙක්. ඉතාම ගුණවත්, නැණවත් ස්වාමින් වහන්සේලා කිහිපනමක් සමීපව ඇසුරු කරන කෙනෙක්. දානමානාදී පින්කම්, කඨින චීවර පින්කම් ආදියටද දායක වෙනවා. නමුත් මම පින්කම් කිරීමෙන් පෙරළා යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් දවස පටන් ගන්නේ බුදුන් වැඳලා. මනුෂ්‍යයෙක් භෞතික වශයෙන් වගේම ආධ්‍යාත්මිකවත් දියුණු විය යුතුයි. ඒක සාර්ථක ගමනකට බෙහෙවින් මඟ පාදනවා. අපේ ආගමට අනුව පින හා කුසල යනුවෙන් දෙකක් තිබෙනවා. මම හැකිතරම් කුසලයෙහි යෙදෙනවා සාමාන්‍ය මනුෂයෙක් විදියට කර්මය විශ්වාස කරගෙන. අටලෝ දහම හා පස් පව ගැන දැනගෙන අවබෝධයෙන් ජීවත් වෙනවා.

මොකක්ද ඔබේ මැනේජ්මන්ට් ස්ටයිල් එක?
මගේ ස්ටයිල් එක සරල වීම සහ නිහතමානී වීම කියන දේ. ඕනෑම කෙනෙක්ට ඒක ගළපා ගත හැකියි. මම මේ තනතුර ආභරණයක් කරගෙන නැහැ. මේ තනතුරට මම ආභරණයක් වීමයි වැදගත්. මගේ ස්ටයිල් එක ඇතුළේ මම නිතරම හදවතට නිවැරැදියි කියලා දැනෙන දේ කරන කෙනෙක්.
දෛනික ජීවිතයේ පුරුදු පුහුණු වුණු දේවල් තිබෙනවාද?

ඔව්. මම සාමාන්‍යයෙන් උදේ 4.30ට අවදි වෙනවා. ඉන්පසු මගේ ඇඳුම් පැලඳුම් සූදානම් කරගෙන 6.20ට ගෙදරින් පිටත් වෙනවා. මම අනිවාර්යයෙන්ම උදේට කොළ කැඳ බොනවා. කාර්යාලයට ගිහින් පත්තර පහක් කියවනවා. ඊමේල් 150ක් විතර කියවනවා. 8.45ට ඒ වැඩ ඉවර කරනවා.
දෙවියෝ සහ කේන්දර ගැන විශ්වාස කරනවාද?

යම්තාක් දුරට විශ්වාස කරනවා. බුදු දහම අනුවත් දෙවියෝ කියලා කොටසක් ඉන්න බව අපි දන්නවා. ඒ අයට පින් අවශ්‍යයි. මම සාමාන්‍යයෙන් එල්බගෙන නැතත් අනුරාධපුර, කතරගම, දෙවුන්දර වගේ තැන්වල යනවා. කේන්දරත් එහෙමයි. කේන්දරයෙන් අපිට යම් මඟපෙන්වීමක් කරනවා. අපිට යම් බාධාවක් තිබෙනවා නම් එය මඟහැර ගන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මම ඒ කේන්දර බලලා ජීවිතය සැලසුම් කරලා නැහැ.
වෙළෙඳ සන්නාමයන්ට ඔබේ ජීවිතයේ මොන වගේ ඉඩක්ද තියෙන්නේ?
මම නිතරම බ්‍රෑන්ඩඩ් දේවල් පරිහරණය කරන්න කැමැති කෙනෙක්. මගේ ඔරලෝසු කිහිපයක් තියෙනවා. ඒවා ඔක්කොම ඔමේගා, රොලෙක්ස් වැනි සන්නාම. සමහර ඔරලෝසු මිලියන දෙක තුන වටිනවා.

පාවිච්චි කරන පෑන ර්ධදබඡතචදජ, පාවිච්චි කරන කණ්ණාඩියත් ර්ධදබඡතචදජ. ඒක එක්ලක්ෂ විසිපන්දහසක් පමණ වෙනවා. මම නවීන මෝටර් රථවලට වඩාත් ඇලුම් කරන කෙනෙක්. ඒ නිසා මම දැන් පාවිච්චි කරන්නේ අලුත්ම බෙන්ස් මෝටර් රථයක්.
ඇඳුමක් වුණත් මිලදී ගනිද්දී බ්‍රෑන්ඩ් එක බලනවා. බොහෝ විට මම රෙදි මිලට අරන් ෂර්ට්ස් මහනවා. කමිසයේ අතක එස්.ආර්. කියලා ගහනවා. මොකද මට නිතරම අවශ්‍ය අන් අයගෙන් වෙනස් වෙලා මට අනන්‍ය විදියක් හදාගන්න. හැමෝම පාවිච්චි කරන දේවල්වලට මම කැමැති නැහැ. පර්ෆියුම් එකක් ගත්තත් එහෙමයි. සමහර පර්ෆියුම් විසිදාහයි, තිස්දාහයි, සපත්තු, ටයි වගේ දේවල් වගේම යට ඇඳුමක් ගත්තත් මම එහි සන්නාමය ගැන සැලකිලිමත් වෙනවා.
ඇයි සන්නාම පස්සේ මේ තරම් හඹා යන්නේ?
කෙනෙක්ට මේක පිස්සුවක්, මෝඩ වැඩක් වගේ හිතෙන්න පුළුවන්. නමුත් මම එයින් විශාල ආත්ම තෘප්තියක් හා පරිපූර්ණ හැඟීමක් උපයනවා. මේ ක්‍ෂේත්‍රයේ හැසිරෙද්දී ඇතැම් විට එවැනි දේ අවශ්‍ය සාධක බවට පත්වෙනවා. ඒ දේවලට හුරු වුණාට පසුව ඒවගෙන් මිදෙන්න අපහසුයි.
චිත්‍රපට බලනවද?

ටී.වී. ෂෝ, ෆිල්ම්ස් බලන්නේ නැහැ.
පොත්පත්?
ගොඩක් පොත්පත් කියවනවා. මහත් අභිරුචියකින් ඒ දේ කරනවා. අඪජඩචපඤ ඕපචදඵධද ගේ ඉජපඥඹ ඪබ ඹ්ඥබඵ ච්ධ ඪබ පොත, ඕපඪචද ඊපචජර ගේ ඕභඵඪදඥඵඵ ඉබපචබඥඨර පොත සහ අරභඩධ ධඬචඹච ගේ පොත්, ඒරඵ ට්දචදචථ ර්ර ජ්චබඩඥප'ඵ ඉබධපර පොත ආදී පොත් තමයි මේ දිනවල කියවමින් ඉන්නේ.
ඔබේ ජීවිතය වෙනස් කරපු හැරවුම් ලක්‍ෂ්‍යය මොකක්ද?

හැරවුම් ලක්‍ෂ්‍ය දෙකක් තියෙනවා. මම මේ ආයතනයට එද්දී මට රුපියල් 500ට වගේ වැඩ කරන්න වුණු කාලයේ දී මම රැකියාවෙන් ඉවත් වෙලා රුපියල් 5000ට සම්පත් බැංකුවට සම්බන්ධ වෙන්න හැදුවා. මම ඒ බව තාත්තට කිව්වාම තාත්තා කිව්වා වහාම ගෙදර එන්න කියලා. ගෙදර ගියාම තාත්තා මට කිව්වා වරලත් ගණකාධිකාරිවරයෙක් වෙලා මිසක රස්සාව අත්හරින්නෙපා කියලා. එදා මම තාත්තා කියන දේ අහපු නිසයි මට මේ තරම් දුරක් එන්න ලැබුණේ. අනික තමයි මගේ විවාහය. මගේ බිරිය කවදාවත් මම ගෙදර එන විට මුහුණ ගෝල්ෆේස් එක වගේ කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඇගේ සහයෝගයත් මට විශාල රුකුලක් වුණා.
2017 අවසාන වෙන්න ළඟයි. 2018 වසරට අවශ්‍ය සැලසුම හදලා ඉවරද?

සාමාන්‍යයෙන් මම වසරක දෙසැම්බර් මස දෙවන සතිය වගේ වන විට ඊළඟ වසරට අවශ්‍ය ප්‍රමුඛතා ලේඛනයක් හදනවා. ඒ ආකාරයට ගිය වසරේ හදපු ප්‍රමුඛතා ලේඛනයේ තිබුණු බොහෝ දෑ මේ වසරේදී මම සාක්‍ෂාත් කර ගත්තා. මුදලට ලැබෙන්නේ එහි පහළ තැනක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon