අය-වැයෙන් අඩුවුණ_වැඩිවුණ කාර් මිල ගැන හරියටම දැනගන්න

  👤  4102 readers have read this article !
By mawbima 2017-11-19

මෙවර අය-වැය

පිළිබඳව බොහෝ දෙනා පවසා සිටින්නේ ජනතාවට කිසිදු වාසි සහගත තත්වයක් නොමැති බවය. නමුත්, අනෙකුත් භාණ්ඩවලට සාපේක්ෂව වාහනයක් මිලදී ගැනීමට මෙවර අය වැයෙන් ජනතාවට විශාල සහනයක් ලබාදී ඇතැයි වාහන ආනයනකරුවෝ සේම මෙරට භාවිත කරන ලද වාහන අලෙවි කරන්නන් කියා සිටිති. එනම්, මෙරට තුළ බහුලව භාවිත වන ඉන්දියානු ඇල්ටෝ වාහනයේ සිට වාහන රැසක මිල විශාල ලෙස පහත බැස ඇත.

මෙවර වාහනවලින් අය කරන බද්දේ විශාල වෙනස්කම් කීපයක් අය-වැය මඟින් සිදුකර ඇත. එන්ජින් ධාරිතාව 1000 සීසී අඩු වාහනවල (වැගන් ආර්, හට්ස්ලර්) "ඒකක බද්ද" කිසිදු වෙනස් කමකට ලක්කර නොමැති වුවද, එන්ජින් ධාරිතාවය 1000 සීසී වැඩි වාහන වලින් (ටොයෝටා-ඇක්වා, ඇක්ෂියෝ, ගේ‍ර්ස්) අය කරන ඒකක බද්ද රුපියල් 7,50,000 කින් ඉහළ නංවා ඇත. ඒ අනුව මෙම වාහන අලුතින් ගෙන්වීමේදී විශාල මුදලක් දැරීමට සිදුවී ඇත.

මේ නිසා බොහෝ දෙනෙකු රට තුළ දැනට විකිණීමට තිබෙන සහ භාවිත කරන ලද වාහන මිලදී ගැනීම සඳහා අවධානයක් යොමු කරනු ඇතැයි වාහන අලෙවිකරුවන් කියා සිටිති.
"මෙවර අය වැයෙන් පසු මෙරට ලියාපදිංචි කරන ලද වාහනවල මිල ගණන් අඩුවී තිබෙනවා" යැයි මාලඹේ පුංචි කාර් නිවෙසේ අධිපති සරත් යාපා බණ්ඩාර මහතා පවසන්නේය.
හයිබි්‍රඩ් වාහන මිලදී ගැනීමේදී සියයට 50ක්ව පැවති ලීසිං පහසුකම සියයට 70 දක්වා රජය වැඩිකර ඇත. ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථ සඳහා ලබාදුන් බදු සහනය ලියාපදිංචි කළ මෝටර් රථවලටද ලබා දීමට රජය අවධානය යොමුකර ඇත. එම සහනය හිමිවන්නේ වාහනය නිෂ්පාදිත වර්ෂයේ සිට වසරක කාලයක් සඳහාය.
ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථයක් ආනයනය කිරීමේදී ලබාදුන් රුපියල් ලක්ෂ 10 ක බදු සහනය, නිෂ්පාදිත වර්ෂයේ සිට වසරක් පැරණි වාහන සඳහාද ලබාදීමට තීරණය වී තිබේ.

"මේ අය-වැය හොඳයි. මොකද ලංකාවට වාහන වැඩියි කියලා කියනවා නම් අපි ලංකාවේ ඇතුළේ තියෙන වාහන ටික රට තුළ සැරි සරන්න ඉඩක් දෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මේකට ඉඩ ලැබුණා කියලා මම හිතනවා. මිනිස්සු වාහන ආනයනය කරනවාට වැඩිය රට තුළ තියෙන වාහන පාවිච්චියට පෙලඹෙයි. ඒ වගේම රට ඇතුළට එනවා නම් එන්නේ 1000 සීසීවලට වඩා වැඩි වාහනයි. වැගන් ආර් වගේ වාහන විශාල වශයෙන් රට ඇතුළේ දකින්න පුළුවන් වෙයි. ඒ වගේම වැගන් ආර් එක රට ඇතුළේ රුපියල් ලක්ෂ 27-28 ආදී ගණන්වලට විකිනේවි. ඊට සාපේක්ෂව වාහන රැසක මිල අසාමාන්‍ය ලෙස පහල බසීවි." යැයිද සරත් යාපා බණ්ඩාර මහතා පවසන්නේය.
"වාහන බදු අඩු කිරීමේ වාසිය එන්නේ එම වාහන ලංකාවට පැමිණි පසුයි. නමුත් දැනටත් වෙළෙඳපොළේ ලියාපදිංචි කරන ලද වාහනවල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙනවා." යැයිද සරත් යාපා බණ්ඩාර මහතා කියන්නේය.

එන්ජින් ධාරිතාව 1000 සීසී වැඩි හයිබි්‍රඩ් වාහනවල මිල විශාල ලෙස වැඩිවී ඇත. මේ නිසා ටොයෝටා-ඇක්වා ආදී වාහනයක් මිලදී ගැනීමට සොයා ගැනීමට පවා අපහසු වී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා පවසන්නේය.

විට්ස්, ඉන්දියන් සෙලරියෝ, සෙලරියෝ, වීවා එලයිට්, ඇල්ටෝ යන මෝටර් රථ මිල අඩුවීමේ බලපෑමට තදින්ම හසුවී ඇත. මෙම මෝටර් රථ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ පහළ බැසීමක් සිදුවන බව සරත් යාපා බණ්ඩාර මහතා කියන්නේය.
මෙරට නිපදවනු ලබන පැන්ඩා මෝටර් රථය පිළිබඳවද බොහෝ දෙනාගේ දැඩි අවධානයක් යොමුවී ඇත. යුරෝ 4 වායු විමෝචන සම්මුතීන්ට සහ මගී ආරක්ෂණ ප්‍රමිතීන් සහිතව අඩුම මිලකට මිලදී ගත හැකි වාහනය වන්නේ පැන්ඩා මෝටර් රථයයි.

"පැන්ඩා ඒ.බී.එස් එයාර් බෑග් නැති එක ගෙන්නන්න බැරි නිසා මිල පිළිබඳ ප්‍රශ්නයක් ඇති වේවි. එම වාහනයේ මිලට එල්ලවන බලපෑම සම්බන්ධව තවමත් නිශ්චිතව කිව නොහැකියි." යැයිද සරත් යාපා බණ්ඩාර මහතා පවසන්නේය.

වෙළඳපොළේ පවතින මිලෙන් අඩු, පහසුකම් වැඩි වාහනය වන්නේ පැන්ඩා මෝටර් රථය වන අතර, පවර් ෂටර්ස්, ඇලෝවීල් සමඟ අඩු මිලකට එන එකම වාහනයද එය වේ.
ඒ.බී.එස්., එයාර් බෑග් ආදී පහසුකම් නොමැති චෙරි කියු කියු, ක්විඩ්, නැනෝ, රෙනොල්ට්, ඩැට්සන් ඉදිරියේදී ලංකාවට ආනයනය කිරීමක් සිදු නොවේ. ඊට ප්‍රධානතම හේතුව නම් මගී ආරක්ෂාවට අනුකූල නොවන මෝටර් රථ ආනයනය කිරීම ලබන වසරේ ජනවාරි මස 01 දා සිට තහනම් කිරීමට පියවර ගැනීමය.
ඒ අනුව, රියැදුරු හා ඉදිරිපස ගමන් කරන්නා සඳහා වායු බෑග් තිබීම, අඟුළු වැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධතියක් තිබීම, රියැදුරු, ඉදිරිපස හා පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා වන ස්ථාන තුනකට සම්බන්ධිත ආසන පටි තිබීම අනිවාර්ය වේ.

එෆ්.බී 15, කොරොල්ලා, එන්. 16, 110 වැනි වාහනවලටද තවමත් වෙළඳපොළ තුළ හොඳ ඉල්ලුමක් පවතී. නමුත් මෙම වාහන සඳහා වෙළෙඳපොළ බලපෑම අඩු බවත්, මෙම වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවන බවත් වාහන අලෙවිකරුවන් කියා සිටිති.

මේ දිනවල විද්‍යුත් මෝටර් රථ අතුරින් වැඩි කතාබහට ලක්වන්නේ නිසාන් ලීෆ් මෝටර් රථයයි. හේතුව අලුත්ම ලීෆ් වාහනයක් ආනයනය කිරීමේදී රුපියල් ලක්ෂ දහයක පමණ බදු සහනයක් ලබා දීමයි. නමුත්, එම වාහනය නිෂ්පාදනය කරනු ලබන මවු සමාගමෙන් එම වාහනය මෙරටට ලබා නොදෙන අතර, වාහන ආනයනකරුවන්ට ගෙන්වීමට සිදුවී ඇත්තේ එරට ලියාපදිංචි කරන ලද වාහනය. ලීෆ් රථය නඩත්තු කිරීම සඳහා මෙරට පහසුකම් නොතිබීම, බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණවත් පරිදි නොතිබීම යන කාරණා මත ලීෆ් රථය මෙරටට මවු සමාගමෙන් ලබා නොදෙන බව වාහන ආනයනකරුවෝ පවසති.

"නිසාන් ලීෆ් එක පිළිබඳව ජනතාවගේ විශ්වාසය තවමත් අඩු මට්ටමක පවතින්නේ. බැටරි ආරෝපණ මධ්‍යස්ථාන අඩුකම, කියන තරමටම ඉන්ධන පිරිමැස්මක් නොමැති වීම ඊට හේතුවයි. මාසයකට රුපියල් 8000 ක පමණ විදුලි බිලක් ලැබෙන අයකුට ලීෆ් වැනි වාහනයක් භාවිත කිරීම පාඩුයි. පෙට්රල් සඳහා වැයවන වියදමට සමාන මුදලක් විදුලි බිලට වැය කිරීමට සිදුවීම. දිගු කාලීනව විදුලි අර්බුදයක් උද්ගතවීමේ ඇති හැකියාව තිබෙනවා." යැයිද සරත් යාපා බණ්ඩාර මහතා පවසන්නේය.

බණ්ඩාර දියතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon