ඒකාබද්ධය අල්ලස් කොමිසමට

  👤  3992 readers have read this article !
By mawbima 2017-11-19

ඉෂාරා සිල්වා

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකතන සංවාදයේ යෙදුණු බවට හෙළි වූ කෝප් කමිටු සාමාජිකයන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පෙරේදා (17දා) අල්ලස් හෝ දූෂණ, වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම දුරකතන සංවාදයේ යෙදුණු බවට හෙළිවූ කෝප් කමිටු සාමාජිකයන් පස්දෙනා ඇතුළු ඔවුන්ගේ සමීපතම ඥාතීන්ගේ වත්කම් පරීක්ෂා කරන ලෙසද එම පැමිණිල්ල හරහා ඉල්ලා තිබේ.

ඇමැති දයාසිරි ජයසේකර, නියෝජ්‍ය ඇමැතිවරුන් වන අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හර්ෂණ රාජකරුණා සහ හෙක්ටර් අප්පුහාමි යන පිරිසට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් එම පැමිණිල්ල ගොනු කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ෂෙහාන් සේමසිංහ, අරුන්දික ප්‍රනාන්දු, දිලුම් අමුණුගම, පියංකර ජයරත්න සහ තාරක බාලසූරිය යන පිරිස විසින් මේ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
මේ අතර අදාළ කෝප් කමිටු සාමාජිකයන් පස් දෙනාගේ සාමාජිකත්වය වහාම අහෝසි කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම වෙත පැමිණ හෙට (20දා) දිනයේ සාක්ෂි ලබාදුන් පසුව වහාම ඔහුව එම ධුරයෙන් ඉවත් කර පාර්ලිමේන්තුව විශ්වාස කරන අගමැතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පෙරේදා (17දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon