තෙල් වාර්තාවෙන් කැබිනට් එක ගිනිගනී

  👤  4058 readers have read this article !
By mawbima 2017-11-15

චාමර අමරසූරිය

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ සාමාන්‍ය අනු කමිටු වාර්තාව ඊයේ (14දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දීමෙන් අනතුරුව කැබිනට් රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත්
බව "මව්බිම"ට වාර්තා වේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පුවත්පත් සාකච්ඡාවකදී අයි. ඕ. සී. සමාගම මෙරටට ගෙන්වූ බාල ඉන්ධන නෞකාවක් රට තුළට භාර ගන්නා ලෙසට අමාත්‍යවරුන් දෙදෙනකු තමාට බලපෑම් කළේ යැයි පැවැසූ ප්‍රකාශය මෙම උණුසුම්කාරී තත්ත්වය හට ගැනීමට තුඩුදී තිබේ.

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඛනිජ තෙල් කටයුතු පිළිබඳ හිටපු අමාත්‍යවරුන් තිදෙනකු වන චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත සහ අමාත්‍ය දයාසිරි ජයසේකර යන ඇමැතිවරුන් මාධ්‍යට පැවැසූ අදාළ අමාත්‍යවරුන්ගේ නම් හෙළිදරව් කරන ලෙසට කළ බලපෑම මේ උණුසුම් තත්ත්වය ඇති වීමට හේතු වී ඇත.
අමාත්‍යවරුන් සිවු දෙනා අර්ජුන රණතුංග අමාත්‍යවරයාගෙන් කළ මෙම ප්‍රශ්න කිරීම හමුවේ කැබිනට් මණ්ඩල රැස්වීම වාග් ප්‍රහාරවලින් උණුසුම් වී තිබේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම ප්‍රශ්න කිරීම හමුවේ තමා එවැනි නම් කිසි විට මාධ්‍ය වෙත පවසා නැති බව ප්‍රශ්න කළ ඇමැතිවරුන්ට පිළිතුරු වශයෙන් කියා තිබේ.

සිද්ධිය ගැන කැබිනට් ඇමැතිවරයකුගෙන් "මව්බිම" විමසූ විට පැවැසුවේ අයි. ඕ. සී. සමාගමේ ඉන්ධන නෞකාවක් ප්‍රමිතියෙන් තොරව භාර නොගැනීම හේතුවෙන් රට තුළ මේ තරම් විශාල පෙට්රල් හිඟයක් ඇති විය නොහැකි බවට ජනාධිපතිවරයාට අමාත්‍ය අනුකමිටුව විසින් භාර දුන් වාර්තාවේ සඳහන් වන බවයි.

පිටු හයකින් යුත් එම වාර්තාව, අමාත්‍ය අනුකමිටුවේ සභාපති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වා ඇත.
එසේම රටට අවශ්‍ය කරන ඉන්ධන තොග නිසි කළමනාකාරීත්වයකින් තොරව ගබඩා කිරීමද මෙම ඉන්ධන අර්බුදයට හේතු වී ඇති බවත් එම නිසා මීට තෙල් සංස්ථාව වගකිව යුතු බව එම වාර්තාවේ සඳහන්ව ඇතැයිද "මව්බිම" ට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසීය.
මෙම වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද මෙහිදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දැන් වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අර්ජුන රණතුංග, අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුද අමාත්‍ය අනුකමිටුවේ සාමාජිකයෝ වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්