දෙපාරක් රැවටෙන්නේ නැහැ කිව්වට පළමුවැනි පාර අපිව රැවැට්ටුවේ මහින්දයි

  👤  3445 readers have read this article !
By mawbima 2017-11-15

පළමුවෙනි පාර රැවටුණා. ආයෙත් අපි රැවටෙන්නේ නැහැ" යනුවෙන් මහින්ද රාජපක්ෂ පැවැසීම අපැහැදිලි බවත් සැබැවින්ම රැවටීමට ලක්වුණේ මහින්ද රාජපක්ෂ හදිසි මැතිවරණයකට ගොස් සියලු දෙනා පරාජයට පත් කරවීම නිසා බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියසේන ගමගේ සඳහන් කරයි.
දෙවැනි පාර රැවටෙන්නේ නැහැ යනුවෙන් කරන ප්‍රකාශවලට වඩා වැදගත් වන්නේ සියලු දෙනා එකට එකතු වී ඉදිරි මැතිවරණයට මුහුණ දීම බවද ඔහු පෙන්වා දුන්නේය.
පොහොට්ටුව තිබුණද එය පිළිගත නොහැකි මෙන්ම හරිහැටි නායකයකුද නොමැති පක්ෂයක් බවත්, දෙපිරිසම එක් නොවුණහොත් නොසිතූ ප්‍රතිඵලයක් අත්වීමට ඉඩ තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඊයේ (14දා) බත්තරමුල්ලේ පිහිටි මන්ත්‍රිවරයාගේ නිවෙසේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා
පසුගියදා ශේ්‍රෂ්ඨාධිකරණය දීපු නඩු තීන්දුව මේ රටේ ජනතාව සහ මාධ්‍ය තුළ ලොකු ආන්දෝලනයක් ඇති කරන්න හේතු වුණා. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව දීපු මේ නඩු තීන්දුව ඓතිහාසික වාර්තා ගත නඩු තීන්දුවක්. ඒ නඩු තීන්දුව ගැන විවිධ මත ඉදිරිපත් කළත් අධිකරණය බොහොම සාධාරණව කිසිදු බලපෑමකට යටත් නොවී තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. එය පෞද්ගලිකව මට වගේම සමස්ත රටේ ජනතාව ඇගයීමට ලක්කරන අවස්ථාවක් බවට පත්වෙනවා.
මට ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයකු වශයෙන් වසර 2යි මාස 3කට පස්සේ නැවත වරක් පාර්ලිමේන්තුවට පිවිසෙන්න අවස්ථාව ලැබුණා.
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් විදියටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා විදියටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවන්න ඉහළම ශක්තිය ලබාදීමට සූදානම්.

මගේ මතය මෙන්ම අපේ පක්ෂයේ මතයද අපි සියලුදෙනා එකතු වෙන්න ඕනි කියන එකයි. එකතුවෙලා තමයි අපි මැතිවරණයට තරග කරන්න ඕනි. අපේ පක්ෂය කණ්ඩායම් දෙකකට බෙදනවා කියන්නේ ප්‍රතිවාදියාට විශාල ජයග්‍රහණයකට පසුබිමක් සැකසෙනවා. වෙන්වුණු හැම වෙලාවකම අපි පසුබෑමකට ලක්වුණා. ඒ වගේම එක්වුණු හැම අවස්ථාවකම අපි ජයග්‍රහණය ලබලා තියෙනවා.

පළමුවෙනි පාර අපි රැවටුණා තවත් අපි රැවටෙන්නේ නෑ කියලා ඒකාබද්ධයේ පිරිස කියන එක අපිට අපැහැදිලියි. ඇත්තටම රැවටුණේ අපි හිටපු ජනාධිපති ඉන්නකොට. එතුමා එදා හරියට හිටිය නම් අදත් ජනාධිපති. ඒ වරම තාම තියෙනවා. එතුමා තමයි හදිස්සියේ මැතිවරණයක් තිබ්බේ. ඒ ක්‍රියාව නිසා එතුමා විතරක් නෙවෙයි අපි ඔක්කොම පරාද වුණා. එතුමා තමයි අපිව මේ අමාරුවේ දැම්මේ. පළමුවැනි පාර රැවටුණා. දෙවැනි පාර රැවටෙන්නේ නැහැ කියලා කියන එකට වඩා වැදගත් වෙන්නේ අපි සියලු දෙනා එකට එකතුවෙලා ඉදිරි මැතිවරණයට මුහුණ දෙන එක.

උදයන්ති මුණසිංහ
ඡායා - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්