පුංචි ඡන්දයෙන් තෝරන්නේ මෛත්‍රි හෝ මහින්ද මහත්තයව නොවෙයි

  👤  3405 readers have read this article !
By mawbima 2017-11-15

අනුරාධපුරයේ වේදිකාවක් ගහලා යටිගිරියෙන් කෑ ගැහුවට, අපිට බැන්නාට අපි කලබල වෙන්නේ නෑ. ඔය කියන පක්‍ෂයට ආණ්ඩු බලයක් නෑ. පළාත් සභාවක බලයක් නෑ. ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්කමක් නෑ. එහෙම නම් ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් හදාගෙන කිසිම තේරුමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පවසා සිටියේය.

ශ්‍රී ලනිප මහ ලේකම්වරයා එසේ පැවැසුවේ අනුරාධපුර නැඟෙනහිර ආසනයේ ශ්‍රාවස්තිපුර 7 ඇළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පළාත් පාලන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්ය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක:
හිටපු ජනාධිපතිතුමන් පසුගියදා පක්‍ෂයේ මංගල රැලිය අනුරාධපුරයේ පැවැත්වූවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බලයට පත්වුණු මන්ත්‍රිවරු නම් ඒ අලුත් පක්‍ෂයේ නම කිව්වේ නෑ. හැබැයි ජී.එල්. පීරිස් මැතිතුමා නම් තමන්ගේ පක්‍ෂය ගැන කතා කළා. සැරසිලිවලිනුත් අපි දැක්කා තමන්ගේ මන්ත්‍රිකම නැතිවෙයි කියලා පක්‍ෂයේ නම කිව්වේ නැති වුණාට ඒ කොඩි ටික තිබුණේ අලුත් පක්‍ෂයෙන්. ඒ පක්‍ෂය ගැන අපි අමුතුවෙන් මොකුත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

ඉස්සරහට එන්නේ මෛත්‍රි මහත්තයාද, මහින්ද මහත්තයාද කියන ඡන්දයක් නෙවෙයි. ගමේ මිනිස්සු ප්‍රාදේශීය සභාවට මන්ත්‍රිවරයෙක් හදා ගන්න ඕන තමන්ගේ ගමේ වැඩ ටික කර ගන්න. වැඩ කරගන්න නම් පත් කර ගන්න කෙනාට බලය තියෙන්න ඕන.

19 වැනි සංශෝධනයත් එක්ක මේ ආණ්ඩුව අවුරුදු 4 1/2ක් යනතුරු විසුරුවන්න බෑ. ඉස්සර නම් ජනාධිපතිවරයාට අවුරුද්දකින් පස්සේ කැමැති ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තිබුණා. හැබැයි දැන් අවුරුදු 4 1/2ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. ඒ කියන්නේ මේ ආණ්ඩුවත් 2020 වෙනකම්ම යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු තමයි 1994 ඉඳන් පසුගිය අවුරුදු 20 පුරාවටම මොනවා හරි ගමේ සංවර්ධනයක් කරලා තියෙන්නේ. ඒවා පක්‍ෂයේ නියෝජිතයෝ ගමට ගෙනාවට, ඒවායේ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටයි. ඒ ඇරෙන්න කවුරුවත් සාක්කුවෙන් තමන්ගේ සල්ලිවලින් කරපු දේවල් නෙවෙයි. 2018 පළාත් පාලන මැතිවරණයෙන් පස්සෙත් ගම හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය.


මේ කටින්ම මම උගුර ලේ රහ වෙනකම් මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දෙන්න කියලා ජනාධිපතිවරණ දෙකකම කිව්වානේ.
2005ත් කෑ ගැහුවා. 2010ත් කෑ ගැහුවා. 2015 නම් අපි අපේ කමට, ගමේ කමට පක්‍ෂයේ ලේකම්තුමාව ජයග්‍රහණය කරවන්න කියලා කතාබහ කළා. අපි කොච්චර මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ආදරය කළත් මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ආයේ ජනාධිපති වෙන්න බෑ.

එහෙම නම් අපි ආදරය හිතේ තියාගෙන පවතින දේශපාලනයත් එක්ක අපි යා යුතු වෙනවා. අපේ ගමට හයියක් ගේන්න පුළුවන් කණ්ඩායමක් එක්ක අපි යා යුතු වෙනවා.
ජනාධිපතිතුමා ඇතුළු අපි කෑ ගහලා කියන්නේ බුද්ධාගමට තියෙන තැන අබ මල් රේණුවකින් අඩු කරන්න දෙන්නේ නෑ. සම්පන්දන් මහත්තයාවත් බුද්ධාගමට තියෙන තැන නැති කරන්න ඕන කියලා කියන්නේ නෑ. කවුද මේක කියලා තියෙන්නේ? කොහෙද මේක වෙන්නේ? මේ රටේ අනවශ්‍ය බියක් සැකයක් ඇති කරන්නේ මේ දේශපාලන බංකොලොත්වාදීන්. තමන්ගේ දේශපාලන මතයට ජනතාව එකතු කර ගන්න වෙන ක්‍රමයක් නැති නිසා මේ රටේ ජාතිවාදය අවුස්සනවා. මේ රටේ වෛරය පතුරවනවා.
13+ දෙන්න කැමැති වුණේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා. මහින්ද මහත්තයා දෙන කොට හොඳයි. රටම එකතු වෙලා තීන්දුවක් අරගෙන දෙමළ පාර්ශ්වයත් කැමැති වෙලා රටේ මේක ස්ථාපිත කරන්න යන කොට මේක නරකයි. මේක තමයි ඇත්ත කතාව. මේකට අපි යට වෙනවාද? නැත්නම් මේකට උත්තරය දීලා අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී කරන්න මේ රට හදන්න අපි පටන් ගන්නවාද?

හිදෝගම - අමිල ප්‍රභාත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්