වක්‍ර බදුවලට ගැළපෙන නම මැදමුලන බද්ද නොව මහ බැංකු මගඩි බද්දයි

  👤  3367 readers have read this article !
By mawbima 2017-11-15

ජනතාවට සහන ලබාදීම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීම හේතුවෙන් රජයට වසරකට බිලියන 18ක මුදලක් වැය කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවද පසුගිය වර්ෂය හා සංසන්දනය කර බලන විට භාණ්ඩ හා සේවා සඳහා ජනතාවට ගෙවීමට සිදුවන වක්‍ර බදු බිලියන 649ක් දක්වා වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

වක්‍ර බදු සඳහා මැදමුලන බද්ද යන නාමය හොඳින් ගැළපෙන බව මුදල් ඇමැතිවරයා පැවසුවද ඊට වඩාත් ගැළපෙන්නේ මහ බැංකු මගඩි බද්ද යන්න බවද ඔහු පැවසීය.
සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (14දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස්
ජනාධිපතිවරයා විසින් පත් කළ බැඳුම්කර කොමිසම නියෝගයක් කරලා තිබෙනවා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ප්‍රශ්න ඇසීමට අවශ්‍ය බවත් දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම ප්‍රමාණවත් නොවන බවත්, අගමැතිවරයා ඒ සඳහා කොමිෂන් සභාවට කැඳවීමට අවශ්‍ය බවත් ඔවුන් දැනුම් දීලා තිබෙනවා. දිවුරුම් ප්‍රකාශයකින් හරස් ප්‍රශ්න ඇසීමට පුළුවන්කමක් නැහැ. එමඟින් ලබාදෙන තොරතුරු සත්‍යද අසත්‍යද කියලා හොයලා බලන්නත් බැහැ. අගමැතිවරයා මහා හ¾ඩින් දැනුම් දුන්නා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව. හැබැයි මෙතෙක්දුරට එතුමා කොමිෂන් සභාව ඉදිරියට එන දිනයක් සඳහන් කරලා නැහැ. එතුමාට මොනවද හංගන්න තියෙන්නේ. මේකද ශ්‍රී ලනිපයේ ප්‍රතිපත්තිය. මේවායේ වගකීම් ආණ්ඩුවේ තනතුරු ගත්ත ඇමතිවරුන් මන්ත්‍රිවරුන් සාමූහික වගකීම අනුව භාරගත යුතුයි.

මේ අය වැය ලේඛනය ප්‍රෝඩාවක්. අලුත් ඉලෙක්ටි්‍රක් කාර් අපේ රටට ගෙන එන්න බැහැ. ඒ නිෂ්පාදකයන් ඒ සඳහා අවසර දෙන්නේ නැහැ. එයත් නොදැන තමයි අයවැය යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ.

ඇමැති මංගල සමරවීර වයින් සම්බන්ධ බදු අඩු කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා මේ යෝජනාව වහාම ඉවත් කරගත යුතුයි කියලා. එතකොට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා නොවෙයිද මේ යෝජනා සකස් කරන්නේ. ජනාධිපතිවරයාත් ප්‍රකාශ කරලා තිබෙනවා මෙයට කිසිසේත්ම එකඟ නැහැ කියලා. එතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. අය-වැය යෝජනා මුලින්ම ඉදිරිපත් කරන්නේ කැබිනට් මණ්ඩලයටයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඉන් පසුවයි. දැන් ඉදිරිපත් කළාට පස්සේ කියනවා යෝජනාවලට එකඟ නැහැ කියලා. අපි දකින ආකාරයට මේ අය-වැය ලේඛනයේ තිබෙන භයානකකම තමයි මෙය සකස් කරලා තිබෙන්නේ විදේශ රටවල් පිනවීම සඳහායි. මෙහි ප්‍රමුඛ අරමුණ විදේශිකයන්ට සහන ලබාදීමයි. විදේශිකයන්ට ලබාදෙන තට්ටු නිවාස සඳහා පැන වූ බදු සියල්ල ඉවත් කරලා.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන
මේ අය වැය ලේඛනයේ ඉතා විශාල මිත්‍යාවක් තිබෙන අතර යථාර්ථය ඉතා කටුකයි. මේ අය වැයේදී මුදල් ඇමැතිවරයා මුළු රටේම දේශපාලන පක්ෂවල, වෘත්තීය සමිතිවල, ආගමික නායකයන්ගේ අවධානය කරුණු හතරකට සූක්ෂ්ම ලෙස ගොනු කිරීමට සමත් වෙලා තියෙනවා. බියර් මිල පහත හෙළීම, සෙලියුලර් දුරකතන ගාස්තු ඉහළ යෑම, මෝටර් වාහන සම්බන්ධයෙන් මිල අඩුවීම්, වැඩිවීම් හා බැංකු ගනුදෙනු සඳහා සත 25ක බද්දක් අය කිරීමට කියන තැනටයි අය-වැය ගෙනත් තියෙන්නේ. නමුත් යථාර්ථය නම් අසීමිත බදු බරක් පොදු ජනතාව මත පටවලා. දරාගත නොහැකි බදු හා දඩවලින් රජයේ ආදායම ඉහළ දමන ආර්ථිකයේ අසාමාන්‍ය ලිහිල්කරණය තුළින් විජාතික, බහුජාතික බූවල්ලන්ට ආර්ථිකයේ සාරය උරා බොන්න ඉඩප්‍රස්තා පුළුල් කර දීමයි.

එතුමා අය වැය ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිරකරුවෙක් විදියට.
ඒ නිසා රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් නැති, මේ රටේ ප්‍රශ්න හා මිනිස්සු පිළිබඳ විශ්වාසය රඳවන ජාතික ආර්ථිකය නඟා සිටුවන වැඩපිළිවෙළක් නැති විජාතිකරණ අය-වැය ලේඛනයක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ.

ඉෂාරා සිල්වා
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්