කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමේ නිදහස රජයේ සේවකයන්ට තිබෙනවා

  👤  3355 readers have read this article !
By mawbima 2017-11-15

වර්තමානයේ රාජ්‍ය සේවයේ නියැළී සිටින සියලු දෙනාටම පිටකොන්ද කෙළින් තබාගෙන වැඩ කළ හැකි පසුබිමක් තම රජය විසින් සකසා දී තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කරයි.

වසර 30-35ක් තිස්සේ සිදුවූ වැරැද්ද මාසයකින් දෙකකින් නිවැරැදි කිරීමට හැකියාවක් නැතැයිද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ඇගැයීම් වැඩසටහනට පෙරේදා (13දා) එක් වෙමිනි.
මෙහිදී 2015 වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගත වීම හා කාර්යසාධනය පිළිබඳ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ ආයතන සඳහා රන් සම්මාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.
වර්තමාන රජය යටතේ අපක්ෂපාතීව, ස්වාධීනව එම කටයුතු කිරීමට තිබෙන ඉඩකඩ ඉතාමත් පැහැදිලි වන සාක්ෂියක් තමයි ගිණුම් කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට ලසන්ත අලගියවන්න ඇමැතිතුමාට හැකි වීම. ඒ නිසා එතුමාටත් ඒ කාර්ය මණ්ඩලවලටත් මා ස්තුතිවන්ත වෙනවා සිය වගකීම විශිෂ්ට ලෙස ඉටු කිරීම සම්බන්ධව.
අපේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14ක් ඉන්නවා. රටේ සාමාන්‍ය ජනගහනයෙන් දහතුන් දෙනෙක්ට එක් අයෙක් බැගින් රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. අපේ රාජ්‍ය සේවාව දැනට වසර 35කට 40කට පෙර ඉතාම විශිෂ්ට රාජ්‍ය සේවාවක් තිබුණා. එවකට නිලධාරීන්ගේ තිබූ කැපවීම ඉතා අගනේයි. විශේෂයෙන් අද තිබෙන වරප්‍රසාද පහසුකම්, දීමනා ඒ කිසිවක් නැතිව විශිෂ්ටම රාජ්‍ය සේවය පෙන්නුම් කළේ ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සේවය කළ පරිපාලන නිලධාරීන්, දිසාපතිවරු, ආදායම් පාලක නිලධාරීන් විසින්.
එහෙත් පසුකාලීනව දේශපාලනඥයන් විසින් අපේ රාජ්‍ය සේවකයන්ගේ පිටකොන්ද කඩලා දැම්මා. දේශපාලනඥයන්ගේ බලය තුළ වැරැදි විදියට හැසිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙක්ට තමාගේ ප්‍රදේශයේ ඇමැතිවරයාට යම්කිසි ප්‍රශ්නයක හරි වැරැද්ද නිවැරැදිව කියන්න පුළුවන් විය යුතුයි. එහෙම කියන නිලධාරීන් පිරිසක් මේ රටේ හිටියා.

තවමත් සුළු පිරිසක් ඉන්නවා. අවංකව වැඩ කරන නිලධාරීන්ට එසේ වැඩ කරන නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණදෙන්න සිදුවුණා. තනතුරු අහිමි වුණා. ගෙවල් ‍ෙදාරවල්වලට ගල් ගැහුවා. සමහර වෙලාවට අත පය කැපුවා. දේශපාලනඥයන්ට අවශ්‍ය දේ නොකරන නිසා නොයෙකුත් හිරිහැරවලට ලක් වෙන්න සිදුවුණා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට මහනුවරදී ඇසිඩ් ගැහුව සිදුවීම් අපි දන්නවා.

අද රාජ්‍ය සේවයේ සියලුදෙනාට පිටකොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් පසුබිම අපි හදලා තියෙනවා. වසර 25ක් 30ක් 35ක් වැරැදියට සිදුවූ දේ නිවැරැදි කරන්න මාසෙකින් දෙකකින් පුළුවන්කමක් නැහැ. අද රාජ්‍ය සේවා කොමිෂන් සභාව තිබෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාව තිබෙනවා. රජයේ නිලධාරීන්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් පැහැදිලිවම තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඒ ආයතන තිබෙනවා. අද නීතියේ ආධිපත්‍ය සහතික කර තිබෙනවා. අපි අධිකරණයට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා රජයේ නිලධාරීන්ට ඒ වගකීම ඉතා හොඳින් ඉටු කරන්න පුළුවන්.

අපේ රාජ්‍ය සේවාවේ අද තිබෙන අඩුපාඩු සකස් කරගෙන ඉතාම හොඳින් සේවාවක් කරන රාජ්‍ය නිලධාරීන් ඇගැයීමට ලක් කරනවා වාගේම අඩුපාඩු දුර්වලකම් තිබෙන අංශ පිළිබඳ සොයාබලා ඒවා නිවැරැදි කිරීමට අවශ්‍ය මඟපෙන්වීම කර ඉතාම හොඳ රාජ්‍ය සේවාවක් මේ රටේ ඇති කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

මේ රටේ වංචාව දූෂණය සම්බන්ධයෙන් කීර්තිමත් ආයතන කීපයක් තිබෙනවා. ඒ කීර්තිය ඒ ආයතන ලබාගෙන තිබෙන්නේ වංචාව සහ දූෂණයෙන්. එහෙම නැතිව හරියට වැඩ කරලා නෙවෙයි. ඒ නිසා අපි මේක නිවැරදි කර ගන්න ඕනෑ. බොහෝ වෙලාවට සමහර ඇමැතිවරුන් කියනවා රජයේ නිලධාරී මහත්වරුත් කියනවා අපි මේක කළොත් අපිට එෆ්.සී.අයි.ඩී. යන්න වෙයි, සී.අයි.ඩී. යන්න වෙයි කියලා. පරීක්ෂණවලට යන්න වෙයි කියලා. යම් කාලසීමාවක් වැරැදියට සිදුවූ දේ නිවැරැදි කරන්න යන විට ඒ අත්දැකීම ලබනවා. නමුත් මම ඉතාම සතුටු වෙනවා මේ කාලය තුළ වැරැදි කරන්න, හොරකම් කරන්න, දූෂණයට, වංචාවට මේ රටේ බයක් ඇතිවෙලා තියෙනවා. දේශපාලනඥයන්ගේ ඉඳලා බයක් ඇතිවෙලා තියෙනවා. ඒ බය නැතිව ගිහින් තිබුණේ දේශපාලනඥයන්ගේ වැරැදි හැසිරීම නිසා. ඒ නිසා අපි අද ඒ තත්ත්වය වෙනස් කරගෙන යනවා. ඒ වෙනස් කිරීම පහසු දෙයක් නෙවෙයි. වැරැදි කරන බොහෝ අය එකට එකතු වෙනවා. ඒ තුළයි බොහෝ ප්‍රශ්න මතු වෙන්නේ. ඒ නිසා මේ කරන කාර්යය අපි ඉතා අගය කරනවා.

පහන් විජේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්