ගුවන්ගත කර පැය දෙකකින් කාර්මික දෝෂයක් නිසා යානය කටුනායකට බස්සලා

  👤  3452 readers have read this article !
By mawbima 2017-11-15

කටුනායක _ ගයා තිරිමාදුර

පැය 02 විනාඩි 08ක කාලයක් ගුවන් ගත වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි ආපසු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 141 දරන එම ගුවන් යානය පෙරේදා (13දා) රාත්‍රි 11.47ට මුම්බායි බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව යද්දී ගුවනේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ. ඒ බැව් යානයේ නියමුවා කටුනායකට දැන්වීමෙන් අනතුරුව ලබා දුන් උපදෙස් මත යළිත් මෙම යානය ආපසු හරවා ගෙන ඊයේ (14දා) අලුයම 1.55ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්වනු ලැබීය.

මෙම යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ _ 320 වර්ගයේ ගුවන් යානයක් වන අතර එහි මගීන් 138ක් සහ කාර්ය මණ්ඩලය 07ක් සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවැසීය.

මේ යානය මුම්බායි ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවේ නම් එහි අලුත්වැඩියා කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළට සාපේක්‍ෂව වැඩි වියදමක් දැරීමට සිදු විය හැකි නිසා යානය යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගත් බව දීපාල් පෙරේරා මහතා පැවැසීය.
මෙම යානයේ වූ මගීන් පිරිස වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යොදවා යළිත් ඊයේ අලුයම 3.34ට කටුනායක ගුවන්තොටුපොළින් ඉන්දියාවේ මුම්බායි බලා පිටත් කර යවා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්