නීල හරිත අය-වැය ජනතා අපේක්ෂා සාක්ෂාත් කර තිබේද?

  👤  3345 readers have read this article !
By mawbima 2017-11-15

2018 වසර සඳහා අය - වැය යෝජනා ප්‍රකාශයට පත් වූ පසු ටෙලිකොම්, බැංකු හා මූල්‍ය අංශවල කොටස්වල වටිනාකම යම් ප්‍රමාණයකින් අඩු වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. වැඩ කරන ජනතාව හා විශේෂයෙන් රජයේ සේවකයන්ද අය - වැය ගැන තිබූ අපේක්ෂා අත්හැර දමන ලද බව පෙනේ. අය - වැයට කලින් පාරිභෝගික භාණ්ඩ පහක මිල අඩු කරනු සඳහා බදු සංශෝධනය කළේය. නමුත් එම බදු අත්හැරීමෙන් ආණ්ඩුවේ ආදායමට සිදුවන බලපෑම ඉක්මවා දෙතුන් ගුණයක බදු පොදු ජනතාවගෙන්ම අය කරන්නට අය - වැය යෝජනා හේතු වී තිබේ. ජනතාවට නීල හරිත ආර්ථිකයක් ගැන දර්ශනයක් පෙන්වා ඇත. නිල් හා කොළ දේශපාලන පක්ෂ දෙක එකතු වී ජනතාවගේ ආදායමෙන් කොටසක් සීරුවෙන් ආපසු හරවාගෙන ඇති බව පැහැදිලිය.

ලබන අවුරුද්දේ රජයේ ආදායම රුපියල් බිලියන 2,326කි. වියදම රුපියල් බිලියන 3,001ක් බව දක්වා තිබේ. ඉදිරි වසරේදී රජයේ ආදායමෙන් රුපියල් බිලියන 2,316ක් බදුවලින් පියවා ගැනේ. මෙම බදු ගෙවන්නේ මෙරට සාමාන්‍ය ජනතාවයි. සුඛෝපභෝගී වාහන, ගනුදෙනුකරුවන්ට බලපාන්නේ නැති බැංකුවලට බදු සහ පාරිභෝගිකයන්ට නොපැටවෙන දුරකතන කුලුනු බදු කියන නමුත් මෙම සියලු බදු ගෙවන්නේ ව්‍යාපාර උපයන ආදායමෙන් බව සැලකිය යුතුය. සමාගම් අධ්‍යක්ෂවරුන් හෝ කොටස් හිමියන් මෙම බදු ගෙවන්නේ නැත. පොදු ජනතාවගෙන් අය කරගන්නා බිල්වලින් රජයට ගෙවන කොටස වැඩි වන විට එයට සරිලන සේ කොතැනකින් හෝ අය කරගන්නේ පාරිභෝගිකයන්ගෙන්ය. 2014 වසරේ මෙරට බදු ආදායම රුපියල් බිලියන 1,255කි. එම වසරේ සිට 2018 අය - වැය දක්වා කාලය අතර රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,061කින් වැඩි කරගනු ඇත. මෙවර අය - වැය වාර්තාව එය දක්වයි. මෙම කාලය ඇතුළත බිලියන එක් දහසකට වඩා ගෙවන්නට තරම් මෙරට ජනතාවගේ ආදායම වැඩි වී තිබේද? නීල හරිත ආර්ථිකයේ අභ්‍යන්තරය එයයි. සලකා බැලූ 2014 සිට 2018 දක්වා වසර හතර තුළ රජයේ වැටුප්, පළාත් සභා වියදම් හා පොලී ගෙවීම් දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. අන්තිමේදී එම ගෙවීම්වලට වන්දි ගෙවන්නට මෙරට පාරිභෝගික ජනතාවට සිදුවී ඇත.

අය - වැය ඉදිරිපත් කරන ලද මුදල් අමාත්‍යවරයා ලබන වසරේ ණය ආපසු ගෙවීමට රුපියල් බිලියන 1,970ක් අවශ්‍ය බව පෙන්වා දෙන ලදී. එයට සේවා බද්දක්ද පැනවීය. නමුත් අය - වැය ඉදිරිපත් කළ දිනයට පසුවදා ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා සඳහන් කළ අන්දමට 2017 වසරේදී පමණක් රජය රුපියල් බිලියන 1,056ක් ණය ගෙන තිබේ. ඒවා ගෙවන්නට තවත් වසර කිහිපයකින් අලුත් බද්දක් පැනවෙන්නට බැරි නැත. ආණ්ඩුව සිය ආයෝජන ශක්තිය උදෙසා ණය ගැනීම වරදක් නොවේ. නමුත් ගන්නා ණය පරිභෝජනයට වියදම් කිරීම වැරැදිය. එදිනෙදා වියදම්වලට ණය ගන්නා ආණ්ඩුව ඒවා ගෙවන්නට බදු පමණක් නොව නැවත නැවතත් ණය ගනිමින් සිටින පසුබිමක නීල හරිත ආර්ථික තේමාව කොපමණ ප්‍රායෝගික එකක් දැයි විමර්ශනය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ආදායම ප්‍රමාණවත් නැති අවස්ථාවක වියදම් අඩු කරගත යුතුය. අය වැය කිසිම ආකාරයකින් රජයේ වියදම අඩු කර ගැනීමට ඇති මඟ සාකච්ඡා නොකරයි. රාජ්‍ය ව්‍යවසාය බරපතළ පාඩු ලබන බව නොරහසකි. ශ්‍රී ලන්කන් සමාගම වසර පහක ලැබූ පාඩුව ලබන වසරේ සෞඛ්‍ය සේවාවට කරන වියදමට වඩා වැඩිය. විදුලිය, ඛනිජ තෙල්, වරාය, දුම්රිය, ලංගම, තැපැල් හා ජල සම්පාදනය වැනි අංශවල අකාර්යක්ෂමතාව අඩු කර ඵලදායීතාව නැංවීමට මඟ සෙවීමද වැදගත් බව අය - වැය මඟින් අවධානය යොමු කර නැත.

රජය මහජනතාව වෙනුවෙන් සපයන සේවා වෙනුවෙන් අය කරන ගාස්තු 15%කින් වැඩි කරන බව අය වැය යෝජනා මඟින් දැන්වීය. ඒ අනුව තැපැල් ගාස්තුව වැඩිවෙයි. ගුවන් ගමන් බලපත්‍රයේ සිට උප්පැන්න සහතිකයේ පිටපතක් ගැනීම දක්වා රජයේ සියලුම ගාස්තු වැඩි කරනු ඇත. නොබෝදා පොලිස් පැමිණිල්ලක පිටපතක් ගැනීමට අය කරන ගාස්තුවද වැඩි කර ඇති අතර ජනතා ආණ්ඩුව නඩත්තු කරනු හැර ජනතාවට වෙන කරන්නට දෙයක් නැත. අද වන විට ජීවන වියදම හා උද්ධමනයෙන් පීඩා විඳින සාමාන්‍ය ජනතාවට මෙම ගාස්තු සංශෝධනය දරා ගන්නට සිදුවනු ඇත. ජනතාව බලා සිටියේ ජීවන වියදම අඩු කරන යෝජනා බව පැහැදිලි කළ යුතුය. හාල්, පොල් හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල අඩු කරන්නට හේතුවන පියවර අය - වැය මඟින් අපේක්ෂා කළේය. නමුත් ජනතාවට යෝජනා කළේ 2040දී සියලු ඩීසල් හා පෙට්රල් වාහන භාවිතයෙන් ඉවත් කරන යෝජනාවකි. රථ වාහන භාවිත කරන්නන්ට කාබන් බද්දකි.

2015 වසරේ රජයේ බදු ආදායම දළ දේශීය
නිෂ්පාදිතයෙන් 11.5%කි. එය 2016දී දළ දේශීය
නිෂ්පාදිතයෙන් 14.2% දක්වා 41%කින් වැඩි කරගෙන තිබේ. 2018 වසරේදී 15%ක් දක්වා බදු ප්‍රතිශත නැංවිය හැකි වනු ඇතැයි අය - වැය මඟින් සැලකේ. මෙම බදු ආදායම නැංවීමෙන් පසු අද පවතින අය - වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක් දක්වා අඩු කරගත හැකි වෙතැයි දක්වා ඇත. මහජනතාවට බර පැටවීමෙන් පසු 2017 වසරේ ලබාගෙන ඇති සංවර්ධනය වේගය 4.5%ක් වන අතර එය කෙසේවත් සෑහීමකට පත් විය හැකි ප්‍රතිශතයක් නොවේ. වසර 2020 වන විට රටේ සංවර්ධන වේගය කුමක්ද? අය - වැය මඟින් රජයේ ආයෝජන ශක්තිය ගැන පැහැදිලි කරන්නේ නැත. 2015දී රජයේ ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක්වූ අතර 2018දී එය 5.4%ක් බව අය - වැය ඉලක්කම් පෙන්වයි. ජනතාවගෙන් අය කරගන්නා බදු ආයෝජනය නොකරන්නේ මන්ද? එවැනි ආයෝජනයකින් තොරව ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ හැකිද? ණය ගෙවීමටද බද්දක් පනවන විට ආයෝජනය තවත් පහළට වැටීමට හේතු ආර්ථික විශේෂඥයන්ගේ අවධානයට ලක්විය යුතුය.

රජයේ සේවකයන් මෙවර අය - වැය මඟින් කිසියම් ආකාරයක වැටුප් වැඩි කිරීමක් අපේක්ෂා කළේය. ජාතික වෘත්තීය සටන් මධ්‍යස්ථානය පවතින ජීවන වියදම ඉදිරියේ රුපියල් 4,200ක වැටුප් වැඩි කිරීමක් සඳහා බල කරමින් සිටියේය. නමුත් එය සාක්ෂාත් වූයේ නැත. කෙසේ වෙතත් අය - වැය යෝජනා මඟින් ව්‍යවසායකත්වය වෙනුවෙන් පුළුල් ඉඩක් සම්පාදනය, අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා විවෘත කිරීම, වෘත්තීය අධ්‍යාපනය සඳහා දිරි ගැන්වීම වැදගත්ය. වෙළෙඳපොළට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සම්පාදනය හා අවශ්‍ය පරිදි විෂය වෙනස් කිරීම සලසන යෝජනා ගෙන ආවේය. ජාත්‍යන්තරයට ගැළපෙන
විෂය ඇගයීමේ ක්‍රමයක් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටද සෞඛ්‍ය රක්ෂණය යෝජනා කළේය.

අය - වැය මඟින් හරිත ආර්ථිකය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලංගම සඳහා විදුලියෙන් ධාවනය වන බස් 50ක් ලබා දීම යහපත් යෝජනාවකි. විදුලියෙන් ධාවනය වන බස්, කාර් හා ත්‍රිරෝද රථ දිරිගැන්වීය. මෙම විදුලිය අවශ්‍යතා වෙනුවෙන් තව තවත් දැවි තෙල් බලාගාර ඉදිකරන්නට සිදුවුවහොත් එය හරිත ආර්ථිකය නොවේ.
අපනයනයට විශේෂ අවධානයක් දැක්වීය. වසර 2020 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක ආයෝජන රජයේ ඉලක්කය වී තිබේ. මෙම අපනයනයට මෙරටින් නිපදවන්නේ මොනවාද යන ප්‍රශ්නයද පැන නැඟේ. ව්‍යවසායකත්වය වර්ධනය කරන සුළු ණය යෝජනා ක්‍රම දිරිගන්වන බව දක්වයි. නමුත් පවතින විවෘත ආර්ථිකය තුළ අලුත් ව්‍යවසායවලට අපනයන තත්ත්වය ළඟා කර ගැනීම පහසු නැත. අපනයන සංවර්ධනය වෙනුවෙන් අලුත් බැංකුවක්ද යෝජනා කරන්නේ එයට අමතරවය. පවතින බැංකු පද්ධතියට අමතරව තවත් බැංකුවක් හඳුන්වා දුන් විට පවතින වෙළෙඳපොළ පරිමාව බෙදී යනවා හැරෙන්නට අපේක්ෂා කළ හැකි අන් යමක් නැත. අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ධීවර, කෘෂිකර්ම, සුළු අපයනය බෝග හා කාබනික නිෂ්පාදනවලට ඉඩ දීමට යෝජනා ඉදිරිපත් විය. තොරතුරු තාක්ෂණයද ඒ අතර තිබේ. මේවා ඉක්මනින් ආරම්භ කළ හැකි වඩා වේගයෙන් පිබිදෙන අංශ දැයි සොයා බැලීම වැදගත්ය.

ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 5000 දක්වා නංවන රැකියා දස ලක්ෂයක් බිහි කරන සහ අවසානයේදී ජනතාවට දැනෙන සංවර්ධනයක් වෙනුවෙන් මෙවර අය - වැය කෙබඳු පිටිවහලක් සපයනු ඇත්දැයි අනාවරණය කර ගැනීම පහසු කාරණයක් වී නැත. අය - වැය ඉලක්ක අනුව සියයට පහක ආර්ථික වර්ධනයක් ඉලක්ක කෙරේ. 6%ක උද්ධමනයකි. අය - වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කි. මෙම පදනම් තුන අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින තත්ත්වයට වඩා විශාල ඉදිරි පිම්මකට සූදානමක් නැත. එක පැත්තකින් ජනතාවට සහන දිය යුතු බව හිතන හා නමුත් එය කෙසේවත් කරගත නොහැකි පසුබිමක සිටින මෙරට ආර්ථිකයේ වේගවත් ජවයකින් එනම් ජනතාවගේ බදු හැර වෙනත් පැතිවලින් ආදායම් උපයන්නේ නැතිව පවතින තත්ත්වය වෙනස් කළ නොහැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්