සෙවණගල සීනි සමාගම පෞද්ගලික අංශයට නොදී බේරා ගන්න දිගටම සටන් කරනවා

  👤  3397 readers have read this article !
By mawbima 2017-11-15

ඇඹිලිපිටිය - රූපසේන පත්තුව

පැහැදිලිවම අපි දින තුනක අවස්ථාවක් ලබා දෙනවා ආණ්ඩුවට. මේ දින තුන ඇතුළත මේ ගොවි මහත්වරුන්ගේ උක් ගස් ටික කපල තියෙනවා. ඒ ටික ගන්න ඕන. ඒ අරගෙන ඒ අයට සාධාරණයක් කරන්න ඕනෑ. ඊට පස්සේ අපි දැවැන්ත උද්ඝෝෂණයකට සූදානම් වෙනවා.

මේ උද්ඝෝෂණයේදී ගොවි සංගම්, ට්‍රැක්ටර් සංගම්, ව්‍යාපාරික මහත්වරු සියල්ලත් එක්කම සාකච්ඡා කරල ඒකාබද්ධ වෘත්තීය සන්ධානය විදියටත් අපි මේකට පෙළ ගැස්මක් වෙලා මේ පනත් හකුළා ගන්නා තුරු අපි සටන් වදිනවා. මේ සෙවණගල සීනි සමාගම පෞද්ගලික අංශයට නොදී බේරා ගැනීමට හැකි උපරිමය සිදු කරන බව පොදුජන පෙරමුණේ ඒකාබද්ධ වෘත්තීය සන්ධානයේ ප්‍රධාන ලේකම් ලලිත් ශ්‍රී පාල් මහතා කීය.
ඒ මහතා එසේ කීවේ සෙවණගල සීනි සමාගම පෞද්ගලීකරණයට එරෙහිව මාධ්‍ය හමුවක් කැඳවමිනි.

වාණිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමය විසින් මේ මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,
උෟන උපයෝගිතා පනත මේ වන විට අහෝසි කිරීමට මේ අය - වැයත් එක්ක මේ රජය සූදානම් වෙනවා. මේ වෙලාවේ අපි පැහැදිලිවම කියනවා 2002දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කාලයේදී මේ ආයතනය පෞද්ගලීකරණය කරල මේ සෙවණගල තියෙන ගම් නියම්ගම් සියල්ල අනාථ කරල දයා ගමගේ කියන අමාත්‍යවරයා 2002 සිට 2011 වන කම් මේ ආයතනය පෞද්ගලීකරණය කරල එතුමා මේක කරගෙන ගියා. එතැනින් පස්සේ උපයෝගිතා පනත මඟින් මහින්ද රාජපක්ෂ මහතා මේ සෙවණගල සීනි සමාගම නැවත රජයට පවරා ගත්තා. දැන් මේ රජය සූදානම් වෙනවා මේ පනත අය - වැයත් එක්ක හංගල අහෝසි කරලා නැවත වතාවක් මේ සෙවණගල සීනි සමාගම දයා ගමගේ මහතාට ලබාදෙන්න.

පැහැදිලිව වෘත්තීය සංගමයක් හැටියට මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අපිට රාජ්‍ය ආයතනයක් විදියට ගොවියන්ට සේවකයන්ට මේකෙන් සර්ව සාධාරණයක් වුණා. නැවත වතාවක් මේ පෞද්ගලීකරණය කරල මේ කරන්න හදන්නේ මේ සෙවණගල නැවත වතාවක් අඳුරු යුගයට ගෙනියන්න.
ඒ හින්දා මම පැහැදිලිව කියනවා රාජපක්ෂලාගෙන් පළිගන්න ඕන නම් රාජපක්ෂලාගෙන් පළිගන්න. හැබැයි රාජපක්ෂලාගෙන් පළිගන්නවා කියලා මේ සෙවණගල උක් ගොවීන්ගෙන් පළිගන්න හදන්න එපා.

සුමේධා ජී. ජයසේන මහත්මිය මේ පනතට විරුද්ධව අනිවාර්යයෙන් අත ඉස්සිය යුතුයි. එතුමියට අපි ඡන්දය ලබා දුන්නේ මහින්ද මහත්තයාගේ මූණ පෙන්නවා මිසක එතුමියට ආදරේකට නෙවෙයි. අය - වැය සම්මත කරගන්න ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එ් අය - වැයට තුනෙන් දෙකේ ඡන්දය බලය දෙන්න එපා දීලා හැබැයි අපි ළඟට එන්නත් එපා. අපි දිවිහිමියෙන් මේ සෙවණගල රැකගන්න කටයුතු කරනවා යැයි කීවේය.

තණමල්විල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගාමිණී උයන්ගොඩ මහතා
මේ සෙවණගල සීනි සමාගම මේ සෙවණගල ප්‍රදේශයේ මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන දැවැන්ත ව්‍යාපාරයක්. ඒ හින්දා මේ ප්‍රදේශයේ පවුල් 8,000ක් 9,000ක් පමණ ඍජුව ජීවත්වන අතර ලක්ෂයකට වැඩි දෙනෙක් සෙවණගල පදනම් කරගෙන තමයි ජීවත් වෙන්නේ.

2002 වර්ෂයේදී මේ ආයතනය පෞද්ගලීකරණය කරන්නට ටෙන්ඩර් කැඳවෙනවා. මේක මිලියන 1,100කට තක්සේරු කරනවා. ආයෝජකයෝ හතර දෙනෙක් මේක ඉල්ලනවා. මේක ඉතා අඩුවට ලංසු ඉදිරිපත් කළ දයා ගමගේ මහත්තයාට එවකට පැවැති එක්සත් ජාතික පක්ෂය සන්තෝසමක් හැටියට දෙනවා. සීනි, ස්ප්‍රීතු, සේවක ණය වගේ වත්කම් තිබුණා. මේ සියල්ල එක්කළාට පසු කෝටි 59ටත් වඩා වැඩියි. මේ ආයතනය දෙන්නේ කෝටි 55ට වැඩියි. මේක තෑග්ගක් හැටියට තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දෙන්නේ.

දයා ගමගේ පාලන කාලයේ සීනි නිෂ්පාදනයට නෙවෙයි මුල්තැන දුන්නේ. ස්ප්‍රීතු නිෂ්පාදනයට. සීනි මෙටි්‍රක් ටොන් 6,000ක් නිෂ්පාදනය කරන විට ස්ප්‍රීතු ලීටර් ලක්ෂ 18ක් නිෂ්පාදනය කරනවා.
දේශපාලනඥයා මේ දිස්ත්‍රික්කයේ ඉන්නේ. ඔය අප්පච්චි මලෝ කියන සොයිසා කියන දේශපාලන නායකයා පෞද්ගලික අංශයට එදා 2002දී මේ ආයතනය දෙනකොට දයා ගමගේ එක්ක හෝටල් ගාණේ ගිහින් සන්තෝසම් අරගත්ත දේශපාලනඥයෙක්. අද වෘත්තීය සමිති කතා කරනකොට කියනවලු ඕකට මට කරන්න දෙයක් නැහැ කියලා.
මේ සෙවණගල සීනි සමාගම කිසිසේත් පෞද්ගලික අංශයට දෙන්නට ඉඩ හරින්නේ නැහැ. එසේ වුවහොත් දයා ගමගේට මේ ගේට්ටුවෙන් ඇතුළට එන්නට ඉඩ තියෙන්නේ නැහැ කියන එක අපි තරයේ මේ ආණ්ඩුවට කියා සිටිනවා යැයි ඒ මහතා කීය.

සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය තවත් සේවක සංගම්ද එක්ව මාධ්‍ය හමුවක් පැවැත්විණි.
එහිදී පැවැසුවේ අගමැතිවරයා හා දයා ගමගේ අමාත්‍යවරයා අතර ඩීල් එකක් පවතින බවත් මේ පනත අහෝසි නොකරන ලෙසට දින 3ක් ආණ්ඩුවට කල් දෙන බවද කීය. එසේ නොවන්නේ නම් සියලු සේවකයන් සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයකට යන බවත් දයා ගමගේ අමාත්‍යවරයාට කිසිසේත් සෙවණගල සීනි සමාගමේ ගේට්ටුවෙන් ඇතුළට යෑමට ඉඩ ලබා නොදෙන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්