ලංකාවේ අපරාජිත බව ගිලිහෙයි

  👤  2846 readers have read this article !
By mawbima 2017-11-14

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් අපරාජිත ලේබලය රැකගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13දා) ප්‍රබල පාකිස්තානුවන් හමුවේ කඩුලු 3ක පරාජයක් අත්විඳ ගත්තේය.

මලයාසියාවේ ක්වාලාලාම්පූර්හි කිංරරා ඕවල් පිටියේදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 141කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වුවද එම ලකුණු ප්‍රමාණය ලෙහෙසි පහසු ඉලක්කයක් බවට පරිවර්තනය කිරීමට ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තානු කඩුලු 7ක් දවාගැනීමද කැපී පෙනිණි.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6ක් ලකුණු 41කට දැවී ගොස් තිබියදී නුවනිඳු ප්‍රනාන්දු සමඟින් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක්ද, කෙවින් කොත්තිගොඩ සමඟින් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවක්ද එක්කිරීමට අෂේන් බණ්ඩාර සමත් නොවන්නට ශ්‍රී ලංකා ඉනිම මෙයට වඩා අසරණ වීමට ඉඩ තිබිණි.
එහිදී පන්දු 95කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 49ක් ලබාගැනීමට අෂේන් බණ්ඩාර සමත්වූ අතර, එය මෙම තරගයේදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවද විය. එක් නොයිඳුල් පන්දුවාරයක් සමඟින් පන්දුවාර 9ක් යවා ලකුණු 28කට කඩුලු 4ක් දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.

කෙසේ වෙතත් පාකිස්තානය තරග දෙකක් ජයගෙන ලකුණු 4ක් සමඟින් +1.240ක ශුද්ධ ලකුණු වේගයක් ලබා "බී" කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනත්, තරග දෙකක් ජයගෙන ලකුණු 4ක් සමඟින් +1.155 ක ශු. ලකුණු වේගයක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී. එක් තරගයක් ජයගෙන ලකුණු 2ක් සමඟින් +0.580ක ශු. ලකුණු වේගයක් ලබා ඇෆ්ගනිස්තානය තෙවැනි තැන දිනා ඇති අතර, ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද පැවැත්වෙන තරගයෙන් ඇෆ්ගනිතාන ජය ලබාගත්තද ශ්‍රී ලංකාව අභිභවා යමින් අවසන් පූර්ව වටයට පිවිසීමට ඇෆ්ගනිස්තානයට අවම ඉඩක් පවතී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්