අමුඩයෙන් වසා ගැනීමට තරම් දෙයක් දුමින්දට ඉතිරි වී නැහැ

  👤  2937 readers have read this article !
By mawbima 2017-11-14

හිතවතියන්ගේ ගොඩනැඟිලි කුලියට ගැනීමට කෝටි ගණන් ජනතා මුදල් නාස්ති කරනවා යැයි චෝදනා එල්ල වී ඇති දුමින්ද දිසානායකට අමුඩ ගසා වසා ගැනීමට තරම් නිරුවතක් ඉතුරු වී නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් අනුරාධපුරයේ පවත්වන ලද රැලියට දස දහසක් ආවොත් තමන් අමුඩයෙන් සැරසී පාර්ලිමේන්තු එනවා යැයි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළදී ඊයේ (13දා) උදෑසන පැවැති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේද ප්‍රකාශ කළේය.

අපි දැක්කා දුමින්ද දිසානායක කියලා තියෙනවා අපේ අනුරාධපුරයේ රැලියට සෙනඟ දහදාහක් ආවොත් අමුඩය ගහගෙන පාර්ලිමේන්තු යනවා කියලා. දුමින්දට විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ කාට කාටත් දැන් පාර්ලිමේන්තු යන්න වෙලා තියෙන්නේ අමුඩය පිටින් තමයි.

එස්.බී. දිසානායක ඇමැතිවරයා කියලා තිබුණා ඒකාබද්ධ විපක්ෂයේ අපි පළාත් පාලන මැතිවරණයේදී එකට තරග කරන්න ඕනේ කියලා එයාලගේ පස්සෙන් වැඳවැටෙමින් එනවා කියලා. මම හිතන්නේ එස්.බී.මහත්තයා දවල් හීනයක් දකින්න ඇති. එහෙම නැත්නම් මේ වගේ විකාර කියවන එකක් නැහැ.
මේ ආණ්ඩුව කොහොමත් නංගි පෙන්නලා අක්කා දෙන ආණ්ඩුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කරන්න හදන්නෙත් නංගි පෙන්නලා අක්කා දෙන තාලේ වැඩක්. මංගල සමරවීර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී අය - වැය කියවනවා කියලා කළෙත් ඒ වගේ වැඩක්. බදු අඩු කරපුවා සිංහලෙන් කියවලා බදු වැඩි කරපුවා කියන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට මේ රටේ බහුතර ජනතාව දන්නේ සිංහලෙන් කියවපු ටික විතරයි. මංගලලාගේ නූල් සූත්තරවලින් ජනතාව රවට්ටන්න ඒකාබද්ධ විපක්ෂයේ අපි ඉඩ තියන්නේ නැහැ.
මංගලගේ අය - වැයෙන් කියනවා පැණි බීමවලට වඩා බියර් හොඳයි කියලා. මේක බුදුන් තුන්වරක් වැඩිය බෞද්ධ පින්බිමක් මිසක් මංගලලාගේ ජාතියේ අය වාසය කරන බේබදු ගුබ්බෑයමක් නෙවෙයි. ඉන්දියන් සාගරයේ මුතුඇටය පාදඩ බිමක් කරන්නයි මේ අය උත්සාහ කරන්නේ.

මගේ ආණ්ඩුව, මගේ ආණ්ඩුව කියලා කෑහැහුවට මංගලගේ අය - වැයෙන් බියර් මිල අඩු කරලා කියලා ජනාධිපතිවරයා දන්නේ නැහැ. අපි අහන්නේ සම්මුතිවාදී ආණ්ඩුවේ අය - වැය හැදුවේ ජනාධිපතිවරයාගෙන් උපදෙස් ගන්නේ නැතුවද එහෙමත් නැත්නම් කියපු කාරණා ජනාධිපතිවරයාට මතක නැද්ද කියලයි.
ඉදිරියේදී අපි හදන ජනතා බලවේගයට වුවමනා කරන්නේ පිරිසුදු චරිත මිසක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු, ඇමැති කටුවලට පෙරේතකමේ ඕනෑ බලු වැඩක් කරන අය නොවෙයි. බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපත්තිවලට ගරු කරන කිසිම කෙනකුට සිරිකොතේ ලඟින්න පුළුවන්කමක් නැහැ.
ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්