බන්දුල හා අජිත් පී. පෙරේරා අතර උණුසුම් වචන හුවමාරුවක්

  👤  2907 readers have read this article !
By mawbima 2017-11-14

පාර්ලිමේන්තුව පෙරේදා (12දා) කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමත් සමඟම පෙරේදා පෙරවරුවේදීම පාර්ලිමේන්තුව දැඩිලෙස උණුසුම්කාරී වූයේ ජනතා නියෝජිතයන් දෙදෙනකු අතර වාග් ප්‍රහාරයක් සිදුවූ නිසාය.
මෙම උණුසුම් අදහස් හුවමාරුව සිදුවුණේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේනතු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා අතරය.

මෙම වචන හුවමාරුවට හේතු වූයේ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගෙන් අසන ලද ප්‍රශ්නයක් හේතුවෙනි.
චාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විමසා සිටියේ 2016 අය-වැයෙහි අංක 149 යෝජනාව පිළිබඳවයි.

2016 අය-වැය යෝජනාවල සියලු යෝජනා පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය බන්දුල ගුණවර්ධන එම යෝජනාවල ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව පසු විපරම් සිදු කරමින් අදාළ විෂය භාර අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න විමසයි.

2016 අය-වැය අංක 149 යෝජනාවට අනුව අනුරාධපුර, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි කෘෂි සංවිධාන, මත්ස්‍ය සැකසුම් කලාපයක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන්කර තිබෙනවාද කියා පිළිගන්නවාද කියා' විමසා සිටියේ බන්දුල ගුණවර්ධන මහතාය.
'රුපියල් මිලියන 100ම ලැබුණා. දැනට එම කටයුතු එම ප්‍රදේශවල සිදු කරගෙන යනවා. කාලය අනුව යම් යම් ප්‍රමාදවීම් ප්‍රයෝගික ගැටලු තියෙන්න පුළුවන්. මුදල් ලැබිලා වැඩකටයුතු සිදු කරගෙන යනවා' යනුවෙන් දයා ගමගේ අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.
මේ කතාවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාට යකා නැග්ගේය.

'මේ අමාත්‍යාංශය අනෙක් සියලුම අමාත්‍යවරුන් වගේ කාලය ගැන කියලා ප්‍රශ්නයෙන් බේරෙනවා. මේක බොරුවක්. මං අය-වැය යෝජනා 493ක් ක්‍රියාත්මක වුණාද? කියා ප්‍රශ්න කරමින් පොතකුත් රචනා කළා. අය-වැය මිථ්‍යාව කියලා ඒවට නම තිබ්බෙත් ඒකයි. පසුගිය අය-වැයෙන් විශාල බොරුවක් රටට සිදු කළා. අය-වැය පසු විපරම් කරන්න උපදේශකයකු වශයෙන් දැන් පත් කරලා තියෙනවා මනෝ තිත්තවැල්ල කියලා මහත්තයෙක්. මනෝ තිත්තවැල්ල මුදල් අමාත්‍යාංශයේ නිලධාරියකු නොවේ. පෞද්ගලික අංශයේ කෙනකු කොහොමද අය-වැය ගැන පසු විපරම් කරන්නේ යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා වේගයෙන් අදහස් දැක්වීය.
'ඔබතුමා සභාව නොමඟ යවනවා' දයා ගමගේ අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වා සිටියේය.

'මංද නොමඟ යවන්නේ. රට නොමඟ යවන්නේ තමුන්නාන්සේලානේ' ඊට ප්‍රතිචාර දැක්වූයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාය.
'අපි අය-වැය යෝජනා ක්‍රියාත්මක කරනවා. පසුගිය ආණ්ඩු කාලවලත් අය-වැය යෝජනා ක්‍රියාත්මක වුණා. අය-වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රයෝගික ගැටලු ඇතිවෙන්න පුළුවන්' දයා ගමගේ අමාත්‍යවරයා පැවැසීය.

'එහෙම අය-වැයවල් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුව 20%ක්ම අමු බොරුව කරපු පහුගිය අය-වැය වගේ අය-වැයක් කිසිම අවුරුද්දක ඉදිරිපත් වෙලා නැහැ යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ බන්දුල ගුණවර්ධන මහතාය.

'මෙතුමා සභාව නොමඟ යවනවා' යනුවෙන් දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන විටම බන්දුල ගුණවර්ධන මහතාට යළිත් යකා නැඟ්ගේය.
'මං නොමඟ යැව්වේ නැහැ. මේ සභාවත් රටත් නොමඟ යැව්වේ තමුන්නාන්සේලා' යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා උස් හ¾ඩින් කෑගසමින් ප්‍රකාශ කෙළේය.
'අපි අය-වැය යෝජනා ක්‍රියාත්මක කරනවා. පසුගිය ආණ්ඩු කාලේ වගේ අපේ ආණ්ඩුව මුදල් නාස්ති කරන්නේ නැහැ. ජනතාවට ප්‍රයෝජනයක් වන ආකාරයෙන් පමණයි අපි සංවර්ධන වැඩකටයුතු සිදුකළ යුත්තේ 'යනුවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.

යළිත් බන්දුල ගුණවර්ධන මහතා කෑගසමින් විරෝධය දැක්වූ අතර ඊට ආණ්ඩු පක්‍ෂයේ ජනතා නියෝජිතයන්ද ප්‍රතිචාර දැක්වීම නිසා මැති සබය යළිත් උණුසුම්කාරී විය.
'මේ මුදල් හරියාකාරව වියදම් කළ යුතුයි. බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා කියන කාරණයේ පොඩි ඇත්තකුත් තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් නොකොළොත් අපිට මේ මුදල් වියදම් කරන්න බැරිවෙනවා' යනුවෙන් දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන විට බන්දුල ගුණවර්ධන මහතා දිගින් දිගටම රීති ප්‍රශ්න මතුකළේය.

තමන්ට රීති ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරන්නට විය.
අපිට කතා කරන්න ඉඩ දෙන්න. අපිට කන්දෙන්න. අපිට අවස්ථාවක් ලබා දෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුවේ වැඩ කරන්නේ කොහොමද? අය-වැයෙන් මේ සභාව නොමඟ යැව්වා කියලා විශ්වාසභංග යෝජනාවකුත් කතානායකතුමාට භාර දුන්නා. පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා මෙරටට පැමිණියා. මේ ගැන අපි එම මහ ලේකම්වරයාට පැමිණිලි කළා' යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.

බන්දුල ගුණවර්ධන මහතාගේ මේ කතාවට අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාටද යකා නැග්ගේය. ඔහු වහා නැඟිට රීති ප්‍රශ්නයක් විමසීය.
'මන්ත්‍රිතුමා ඔහොම කතා කරන්නේ කොහොමද? හිතෙන හිතෙන වෙලාවට ඔහොම නැඟිටලා කතා කරන්න බැහැ. කතා කළයුතු ක්‍රමවේදයක් තියෙනවා' යනුවෙන් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.
'මේ හොරකම් ගැන අපි මේ කතා කරන්නේ. රට විනාශ කරලා ඉවරයි' බන්දුල ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීය.
'ජේ‍යෂ්ඨත්වය අනුව හිතාගෙන ප්‍රශ්න අහනවාද දන්නේ නැහැ. එහෙම ප්‍රශ්න අහන්න බැහැ. මෙයා අමුතු කෙනෙක්ද? මෙයා අමුතු ජාතියෙන් ඉපදුණු කෙනෙක්ද? අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන් පසුව බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා සහ අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුවද මයික්‍රපෝන ක්‍රියාත්මක නොවී තිබුණු නිසාත් මැති සබය තුළ ඝෝෂාකාරී තත්ත්වයක් තිබුණු නිසාත් එම දෙබස් පැහැදිලි නොවීය.
එම දෙබස් එසේ අවසන් වූ අතර පාර්ලිමේන්තුවේදී එතරම් අසන්නට නොලැබෙන අගය කිරීම් කිහිපයක්ද ඊයේ දින දක්නට ලැබීම විශේෂත්වයකි.
නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ස්තුතිය හිමිවන බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ ප්‍රසාදය ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයාට හිමිවිය.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවක් ලෙස එහි තෙවන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ ප්‍රසාදය ඒ මහතාට හිමිවිය.

1978 වසරේ ඉඳලා රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා 31ක් ඉදිරිපත් කරලා තියෙනවා. එම වාර්තා 31කටම කැඳවලා තියෙන්නේ රාජ්‍ය ආයතන 410යි. නමුත් වර්ෂයකට රාජ්‍ය ගිණුම් කාරක සභාවට රාජ්‍ය ආයතන 831ක් කැඳවීමේ හැකියාව තියෙනවා. එසේ කැඳවීමට හැකි සියලුම රාජ්‍ය ආයතන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවට ඇතුළත් කරලා තියෙනවා' යනුවෙන් ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.
මේ සමඟම තමන් සතු රාජ්‍ය ගිණුම් කාරක සභාවේ තොරතුරු කිහිපයක්ද සභාගත කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ක්‍රියා කළේය.
2016 වසරේ අය-වැය ගැන විමර්ශනයක් කළා. රුපියල් බිලියන 792ක 20% ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශ විශාල මුදලක් වියදම් කරලා නැහැ. වියදම් කරලා තියෙන්නේ 32%ක් පමණයි යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

'උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය අපට ලැබුණු මුදල්වලින් 85%ක් වියදම් කරලා තියෙනවා' යනුවෙන් පැවැසුවේ පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාය.

'බොහොම හොඳයි බොහොම හොඳයි' යනුවෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා විසින් ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදී.
මේ අතර පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේදී දක්නට නොලැබුණු හිටපු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා කාලයකට පසු ඊයේ දින පාර්ලිමේන්තුවට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
මැති සබයට පැමිණි විජයදාස රාජපක්‍ෂ මහතා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අසල අසුන්ගෙන ටික වේලාවක් සාකච්ඡාකර නැවතත් මැති සබයෙන් පිටත්ව ගියේය.
පිටත්ව යන ගමන් විජයදාස රාජපක්‍ෂ මහතා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පිටට තට්ටුවක්ද දාගෙන ගියේය.
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත්ව යෑම සඳහා විදුලි සෝපානයට පැමිණ බිම් මහලට පැමිණෙන විට පාර්ලිමේන්තු පුස්තකාලය අසලදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් මුණ ගැසුණේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන, බන්ධුල ගුණවර්ධන, සිසිර ජයකොඩි යන මන්ත්‍රිවරුන් කතාබස් කරමින් සිටි ස්ථානයට ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අමාත්‍යවරයා පැමිණියේය.

'ආ... ඇමැතිතුමා කොහොමද? දිනේෂ් ගුණවර්ධන මහතා විමසුවේය.
'වරදක් නැහැ. අපි මේ දැනුත් බලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟි කරවන්න. ඒකට ගන්න ක්‍රියාමාර්ග ගැන. සමහර මාධ්‍යවේදීන් නිවුස් දානවා. එතකොට සමහර වෙලාවට පක්‍ෂයේ සමඟියට ඒ නිවුස් එක බාධාවක් වෙන්න පුළුවන්. ඒක නිසා මුකුත්ම දන්නේ නැහැ කියන එක තමයි හොඳම උත්තරේ' යනුවෙන් ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

'නිශ්ශබ්දව කටයුතු කරගෙන යන එක තමයි හොඳම හොඳ පිළිතුර' යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පැවැසීය.
මේ අතර ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම ස්ථානයට පැමිණියේය.
'මොකද මේ පවිත්‍රාට එන්න කියලා සාකච්ඡා කළා කියන්නේ' ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා විමසුවේ ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයාගෙනි.
'නැහැ. එහෙම දෙයක් නැහැ' ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

'පවිත්‍රාට වැඳලා අනේ කොහොම හරි එන්න කියලා කිව්වා කියලයි මට ආරංචි' යනුවෙන් සිනහ සෙමින් විමසා සිටියේ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාය.
'අනේ නැහැ. ඇමැතිතුමා, කතා කරන්න තියා පවිත්‍රා මන්ත්‍රිතුමිය මට මුණගැහුණෙවත් නැහැ' යනුවෙන් ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවශක්ති ආනන්දන් මහතා ඊයේ විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගය කළේය.
'එදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී පුනරුත්ථාපනය කළ 11,000ක් නිදහස් කළා. එවැනි දෙයක් මේ සංහිඳියා ආණ්ඩුව මඟින්වත් වෙලා නැහැ. විපක්‍ෂනායක සම්පන්දන් මහතා අපට පාර්ලිමේන්තුවේ කතා කරන්න අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ. අපෙන් පළිගන්නවා' යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවශක්ති ආනන්දන් මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්