ජනාධිපතිතුමාගේ ඔළුව උඩ කූඩු හදන්න එජාපයට අපි ඉඩ දෙන්නේ නැහැ

  👤  2865 readers have read this article !
By mawbima 2017-11-14

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙ හිසට උඩින් කාක්කන්ට පියාසර කරන්න පුළුවන්. එතුමාගේ ඔළුව උඩ ඕන නම් කූඩු හදන්නත් පුළුවන්. හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඔළුව උඩ කූඩුත් හදලා අසූචි දාන්න ආවොත් අපි නිකම් ඉන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ අයට අපි කියනවා. අපි පවුරක් වගේ එකතුවෙලා එක්සත් ජාතික පක්ෂයේ අයට නිසි පාඩම් උගන්වනවා යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හාලිඇළ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් පැවැසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

දැන් තියෙන ආණ්ඩුව අපිට ටිකක් නුහුරුයි. නයයි-මුගටියයි එකතු වෙලා ඉන්නේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකොට පක්ෂ දෙකෙන් එකකටවත් තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න මිනිස්සු බලය දුන්නේ නැහැ. යූ. එන්. පී. එක පරද්දන්න මම වහ කුප්පි අරගෙන ගියා මාධ්‍ය ඉස්සරහට. මෑතකදීත් වහ කුප්පියත් එක්ක මාව කාටූන් එකක ඇඳල තිබුණා. ඒ වගේම මම කාටූන්වල වැඩිපුරම ඉන්නේ නල්ලතන්නියේ. ඇත්තටම මම තාමත් නල්ලතන්නියේ තමයි ඉන්නේ ඇයි? මම තාමත් හිතනවා නල්ලතන්නියේ ඉඳගෙන සිරිපාදේ වඳින්න රත්නපුරෙන් එන අයයි, හැටන් පාරේ එන අයයි එකතු කරලා අපේ පක්ෂය ගොඩනඟලා යූ. එන්. පී. පරද්දන්න පුළුවන් කියලා. පක්ෂය එකතු නොවුණොත් ඒ වහ කුප්පි ටික අපේ පක්‍ෂ කඩන පිරිසට බොන්න වෙනවා. මම තාමත් එකතු කරන තැන තමයි ඉන්නේ. අපි එකතු වෙන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා. ඒකේ දෙකක් නැහැ. මම දැක්කා බෝක්කු, පාලමක් උඩ ගහල තියෙන බෝඩ් එකක්. ඒකේ තියෙනවා අලුත් පක්ෂයක්, අලුත් පාටක්, අලුත් ලකුණක් කියලා. අපිට අලුත් පාටක් අවශ්‍ය නැහැ. අපිට ඕන නිල් පාට, අපිට අලුත් ලකුණක්ද ඕන නැහැ. අපිට ඕන අත ලකුණ. අපිට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ අලුතින් හදන්න යන පක්‍ෂය හදන්න උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි වැඩ කරලා ඉස්සරහට ගෙන ආපු අපි තාමත් ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මුහුණ විකුණලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන කෙනෙක් නෙවෙයි මම දන්න විදියට.

ගිය අවුරුද්දට වඩා ඉස්සෙල්ලා අවුරුද්දට ආපු අය වැය එක්ක බලනකොට මේ පාර ආපු අය වැය අවමංගල නැහැ. ජයමංගල කරුණු වැඩියි. පොඩි මිනිහට වැඩි බරක් නැහැ. හැබැයි එහෙම කියලා අද සමහර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු අපේ රටේ ජනාධිපතිතුමාට එල්ල කරන යම් යම් අවලාද මෙන්ම උඩින් සහ යටින් කරන මේ හතුරුකම් පිළිබඳ අපි අවධානයෙන් ඉන්නේ.

ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිතුමාට අපි ඡන්දය දුන්නේ නැහැ. ඒක වෙනම එකක්. නමුත් එතුමා සිංහල-දෙමළ මුස්ලිම් ජනතාව එකතු කරගෙන කාටත් අසාධාරණයක් නොවෙන්න කටයුතු කරනවා. භික්‍ෂුන් වහන්සේට අවමන් කරන අයට අවමන් කරන්න එපා කියමින් භික්‍ෂුන් වහන්සේ කියන දේ අහන, මේ රටේ ගොවියකුගේ පුතෙක් වූ අපේ ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් දිගටම අවලාද කියනවා නම් දිගටම චෝදනා කරනවා නම් අපි පවුරක් වගේ බැඳිලා මේ ජනාධිපතිතුමා ආරක්ෂා කරගන්නවා. සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්නවා කියලා අපේ ජනාධිපතිතුමාට අවලාද කියන්න, අවමන් කරන්න අපේ ජනාධිපතිතුමාට අපහාස කරන්න ඉඩ දෙන්න බැහැ.

යූ. එන්. පී. කාරයන්ට ඡන්දයට දාන්න කවුරුත් හිටියේ නැහැ. ඔවුන්ට ඡන්දය දිනන්නත් බැහැ. ඒ නිසා පොදු අපේක්‍ෂකයා ලේබලය අලවගෙන තමයි මෛත්‍රිපාල මහත්තයා දාගෙන දිනාගත්තේ. ඒ දිනාගත්තා කියලා යූ. එන්. පී. කාරයන්ට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට මේ විදියට අවමන් කරන්න දෙන්න බැහැ.

ඇල්ල - සුලක්ෂ පියතිස්ස

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්