අතීතය අයිති සතුරන්ට වුවද අනාගතය අයිති ජවිපෙ අපිටයි

  👤  2859 readers have read this article !
By mawbima 2017-11-14

ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට පැන්නා යැයි අපිට ඇඟිල්ල දිගු කරන අගමැති රනිල් වික්‍රමසිංහ 1983 ජවිපෙ තහනම් කිරීම සාධාරණදැයි පිළිතුරු දිය යුතු බව 28 වැනි ඉල්මහ සමරුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කෙළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු 60,000ට අධික පිරිසක් ඝාතනය කර අදට වසර 28ක් ගත වුවද අගමැති වික්‍රමසිංහට ඒ සඳහා දිය හැකි පිළිතුරක් නොමැති බවද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා කීය.

කෙම්වරයා පැවැසුවේ මහින්ද රාජපක්‍ෂ හෝ රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන් ආර්ථිකය හදන බවට කෙතරම් 'කයිවාරු' ගැසුවද මෙරට ආර්ථිකය ගොඩනැඟිය හැක්කේ සමාජවාදයෙන් පමණක් බවය.

එහිදී ඔහු මෙසේද කීය.
රට ලොකු ණය බරක හිරවෙලා. ජනතාවගේ ඔළු මත දැවැන්ත බදු බර පැටවිලා. ඒ අතරේ මංගලගේ මංගල බද්ද ඉදිරිපත් කළා. මේක මංගලට මංගල වුණාට ජනතාවට අවමංගල එකක්. මේ අය-වැය දත ගලවන අය-වැයක්.

හොරකම අල්ලන්න ආපු ආණ්ඩුවේ මහත්තුරු අද හොරකමේ පප්පලා වෙලා. ආව ගමන් මහ බැංකු බැඳුම්කර වංචාව කළා. ඒකට කෝප් කමිටු වාර්තාවක් ආවා. ජනාධිපති කොමිසමකුත් දැම්මා. ඒක හරියට දැන් මැණික් පතල වගේ. හාරන්න හාරන්න බඩු මතුවෙනවාට. එදා රවි කරුණානායක මුදල් ඇමැති වෙලා ඉද්දි මේ හොරකම පටන් ගත්තේ. බැඳුම්කරේ ඉල්ලනකොට අඩු ලංසු තියන්න කියලා නියෝග කෙරුවේ මේ අය ජනතාව රවට්ටලා මහජන මුදල් කොල්ලකනවා.

මේ ඉල්මහ අඳුරුයි. ඒ අපෙන් උදුරාගත්ත සාමාජිකයන් නිසා. තව පැත්තකින් ඉල්මහ සොඳුරුයි. ඔවුන් අපට අත්දැකීම් ශක්තිය සියල්ල ඉතිරි කර තියෙනවා.
මේ අරගලයේ සත්‍ය හැමදාම ඔය ධනපති පන්තියේ ලියන මහත්වරුන්ට මේ ඉල්මහ අමතක කරන්න බෑ. ඇත්ත සඟවන්න බෑ. පක්‍ෂයේ සතුරෝ මේ අරගලය ගැන කතා කරන්න පටන්ගෙන තියෙනවා. අපිට ඒ අයගේ සාධාරණය එපා. බලාපොරොත්තු වෙන්නෙත් නෑ. සාතිශය බහුතරයක් මේ අරගලය සාධාරණයි කියලා තේරුම් අරන් තියෙනවා. ඒ වගේම සමාජවාදී අරගලයක් බිහිකර මේ අරගලය කෙළවර වන බව අපි විශ්වාස කරනවා.

රට මේ වන විට දැවැන්ත දේශපාලන ආර්ථික, සමාජයීය ප්‍රශ්න වගේම දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් තියෙනවා. පරිසර විනාශයෙන් වෙන විපාකය. රෝහණ විජේවීර සහෝදරයා කිව්වේ 1971 එතරම් දුරදිග බලලා අනාවැකි කියන්න පුළුවන් දැවන්ත නායකයෙක් තමයි යූ.එන්.පී. අත්අඩංගුවට අරන් මරලා දැම්මේ. එදා රෝහණ විජේවීර සහෝදරයා ධනවාදයට එරෙහිව සටන් කළේ. අපේ ප්‍රශ්නවලට විසඳුම් තිබෙන බව දන්න හින්දයි රෝහණ විජේවීර සහෝදරයා ඇහින් නොදැකපු අද තරුණ පරම්පරාව පවා අප වටා එක්ව සිටින්නේ. හතුරෝ හමැදාම ඝාතනය මර්දනය තෝරා ගන්නේ තමාට මුහුණ දෙන්න බැරිව.

අවුරුදු 28කට පසුවත් අද අපි ජීවත් වෙන්නේ ධනවාදය තුළ. ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය පිරිහිලා. අද නිෂ්පාදන මාර්ග බිඳදාලා. රනිල් මහත්තයා කයිවාරු ගැහුවට ආර්ථිකය හදන්න, මෛත්‍රි මහත්තයා කයිවරු ගැහුවට ආර්ථිකය හදන්න, රාජපක්‍ෂ මහත්තයා පම්පෝරි ගැහුවට ආර්ථිකය හදන්න බැහැ. අද ලංකාව ජීවත් වෙන්නේ ආර්ථික අනතුරක. එක කන්නයක් පෑව්වොත් කන්න හාල් ගේන්න වෙන්නේ පිටරටින්. එක තෙල් නැවත් පරක්කු වුණොත් වෙනදේ අපි දැක්කා. තෙල් ටැංකි විකුණන්න හදනවා. පිරිපහදු අක්‍රමවත් වෙලා. නිෂ්පාදන දැක්මක් නෑ. එක පෑවිල්ලක් ආව ගමන් හාල්, පොල් පිටරටින් ගෙන්නනවා. එදිනෙදා වුවමනාවන් සපුරන්න බෑ මේ ධනවාදය තුළ.
ලංකාව දැවන්ත ණය බරක්, ජනතාව මත දැවැන්ත බදු බරක් වැටිලා. ඒ අතර මංගල මහත්තයගේ අය වැය මංගලට මංගල වුණාට ජනතාවට අවමංගල එකක්. මේ ආපු විනාශකාරී ගමනේ දිගුවක් මේක. ගණන් ටිකක් එහෙට මෙහෙට දාලා මේක බදු ගහන එකක් පමණයි. මේ දත් ගලවන අය වැයක්. ගලවන්නේ පොඩ්ඩක් නිර්වින්දනය කරලා.
පොල් ගෙඩියක් ගන්න රුපියල් 100 නැතිව ඉන්නේ. ඉලෙක්ටි්‍රක් කාර් මිල අඩු කරනවා. ක්‍රීඩාවල, පාවහන් මිල අඩු කරලා ඒක පොදු ජතාවට බලපාන දේවල්ද? මැජික් ජිමික් වැඩ තමයි තියෙන්නේ මොනවද මේ විහිළු?.

ඩීසල් ත්‍රීවීල් එකට බද්ද ගහලා ලස්සන වචනයක් ඇවිත් කාබන් බද්ද කියලා. දැනට දුම්වලටත් බදු ගහනවා. ජංගම කුලුනුවලට මාසිකව ලක්‍ෂ 2ක බද්දක් ගහනවා. ඒ කුලුනු හරහා කොම්පැණි කාරයෝ අපිට බදු පටවනවා. පැණි බීම බද්දක්. අමුතු බදු තියෙන්නේ මංගලගෙ. බදු පැටවීමෙන් තොර ගමනක් නෑ. මේ අයට නිෂ්පාදන නැති නිසා.
අද රටේ දේශපාලනය පිරිහිලා. ජවිපෙන් බාහිර දේශපාලනය පිරිහිලා. මහජන මුදල් හොරා කන්නෙ කොහොමද, සැප ගන්නේ කොහොමද? කියලා බලන්නේ. සුදු රෙදි බෙදලා සිල් රෙදි කියලා නමක් ගහලා. මිලියන 600ක.

මේ ආණ්ඩුවේ ඉන්නෙත් ඔටුනු දාගත්ත හොරු. යහපාලනය දෙන්න බෑ මේ අයට. සමහරු හිතනවා නම් රනිල් වික්‍රමසිංහට, මෛත්‍රිපාල සිරිසේනට යහපාලනය දෙන්න පුළුවන් කියලා. ඒක මිථ්‍යාවක්. යහපාලනයක් දිය හැක්කේ සමාජවාදයක් තුළ ජවිපෙට පමණයි.
අපරාධ, මංකොල්ල, ස්ත්‍රී දූෂණ, රිය අනතුරු වැඩිවෙලා. ගිලිහිලා ධනවාදය මුළු සමාජයක්ම වෙනස් කරලා. වසර 70ක තට්ටු මාරු දේශපාලනය ඔප්පු කළා ධනවාදයට රට හඳුන්න බෑ කියලා.

අගමැති වෙන්න කතාකරනවා. කයිවාරු ගහනවා. මේ මොහොතේ කිසිම සටනක මහින්ද රාජපක්ෂ ඉන්නවාද? අතීතය අයිති සතුරන්ට වුණාට වර්තමානය, අනාගතය අයිති දහස් ගණනක් සිටින ජවිපෙට පමණයි. මැතිවරණ ක්‍රම න්‍යාය පත්‍ර හැදුවේ මේ අය. ගොඩක් අය අදටත් ජවිපෙ භීෂණය ගැන කියනවා. ජවිපෙ කියන්නෙ ආයුධවලට පෙම් බඳින පක්ෂයක් නෙවේ.

විමල් වීරවංශගේ අතකොළුවක් වෙලා ඉන්න දත් ‍ෙදාස්තර මහත්තයා කිව්වා රෝහණ විජේවීරට පිටුපාලා කියලා. අපිට රෝහණ සහෝදරයා කිව්වා රට බෙදීමට මෙන්ම අත්තනෝමතික මාධ්‍යගත භාවයට විරා්ධයි කියලා. ඔන්න අහගන්න දත් ‍ෙදාස්තර මහත්තයා ප්‍රතිපත්ති නොදන්නවානම්. දන්නෙ නැත්නම් එන්න වෙලාවක ඕන නම් අපි කියාදෙන්නම්. මහින්දගේ වටේ ඉන්න මැක්කො ටිකට අපි කියන්නෙ බෙදුම්වාදය ගැන කියන්න එන්න එපා මහත්තයෝ කියලා. ජීවිතේ ගියත් අපි රට බෙදන්නේ නෑ.
දැන් ඩීල් කතාව හොඳට පැහැදිලියි. විමල් වීරවංශ වැරදි පාස්පෝට්වලින් වීසා ගහගෙන යද්දි අහුවුණාට පස්සෙ කවුද උදවු කළේ රනිල් වික්‍රමසිංහ. අමාත්‍යාංශයේ වාහන අවභාවිත කළා. කෝ ඒ නඩු?

හිරේ දවස් 2ක් ඉන්න බෑ. කකුල් පණ නැහැ. බිරියයි, දරුවොයි පවා ඒවට පාවිච්චි කරනවා. රනිල්ගෙන් ගත්තු ඇප මතයි මේ අය එළියෙ ඉන්නෙ.
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික
කේ. ඩී. ලාල්කාන්ත.

අදත් රෝහණ විජේවීර සහෝදරයාගේ පක්ෂය ජීවමානයි. අරගලය ජීවමානයි. හැබැයි මේකේ ඝාතකයෝ කවුද කියලා අපි දන්නවා. අයිතිකාරයෙක් නැති, ඒ හැමෝටම අපි කියන්නේ අපි කාත් එක්කවත් පෞද්ගලික අමනාපයක් නෑ. හෙට දවසෙත් ප්‍රගතිශීලී, බුද්ධිමත් ජනතාව මේ සමාජවාදයේ ධජය ඔසවන විටත් අපේ අමනාපයක් නෑ. අරමුණ මල්පල ගැන්වීම පමණයි ඇත්තේ.

අනුරාධා හේරත්
ඡායා - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්