මාලිගා මහ කන්ද මැද්දේ රහසේ වැනසෙන අපේ උරුමය

  👤  2861 readers have read this article !
By mawbima 2017-11-14

තුරු හිස් සිප හමාලන සුළඟේ පවා කැටිව ඇත්තේ කඳුකරයේ වූ ඉමිහිරි සීතලයි. තුරුපත් අතරින් වෑහෙන දිය බිඳු පවා ඒ මිහිරියාව කියාලයි. අරණායක මාලිගාකන්ද ශ්‍රී දළදා මාලිගාවේ විෂ්ණු දේවාලයට අයත් නින්දගමක් ලෙස සැලකේ. ඒ සියල්ලටමත් වඩා අතිශයින්ම පොහොසත් වූ පරිසර පද්ධතියකි. අවාසනාවකට මෙන් මේ පොහොසත් පරිසර පද්ධතියද විනාශය අභිමුඛයේය. විෂ්ණු දේවාලයට අයිති අක්කර හයදාහක පමණ භූමි ප්‍රමාණයකින් යුතු වූ මේ නින්දගමේ අද ජීවනමාන වටිනාකම අක්කර තුන්දහසකටත් අඩු යැයි තතු දන්නෝ පවසනුයේ වේදනා මුඛයෙනි.

අරණායක ප්‍රදේශයට ජලය සපයාලන අම්බලකන්ද ප්‍රධාන වතුර ටැංකියට ජලය පොම්ප කෙරෙන ජල උල්පත පිහිටා ඇත්තේද මාලිගාකන්දේය. එතරම් උස් නොවූ තුරු ලතාවලින් වටවුණු දියඋල්පත මුළු ගම්මානයකම ජල අවශ්‍යතා සපුරාලනුයේ මේ කන්ද මිනිස් ජීවයට අතිමහත් යෝධයකුගේ භූමිකාව නිරූපණය කරලමිනි.
මාලිගාකන්ද පුරාවට පැතිර ඇත්තේ හෝර්ටන් තැන්නට සමාන දේශගුණ රටාවකි. වැහිබර අහසේ කොයි මොහොතක දිය බිඳු කඩා හැලේදැයි කිව නොහැකි තරමට සිහිල් වූ පරිසර කලාපයක් මාලිගාකන්දට උරුම වී ඇත. පරිසර පද්ධතිය අයිතිවනුයේ තුරු වනාන්තර ගණයටයි. උස් වූ රූස්ස ගස් තරම් නොවුණද තරමක් උස ගස්ය. ගස්වල කඳන් බොහෝ විට වැසී ඇත්තේ ලයිකනවලිනි. ගස්වල ක¼ද ඝනකම්ය. පත්‍ර මාංසල ස්වභාවයක් උසුලයි. නකල්ස් වනාත්තරවලදී දැකිය හැකි අයුරින් බට පඳුරුවල හොඳ ගහනයක් පවතී.
අති විශාල භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති නිසාමදෝ මේ පරිසර කලාපය තුළ හඳුනා නොගත් උභය ජීවීන් විශේෂ බොහෝ ප්‍රමාණයක් ජීවත් වෙතැයි සැලකේ. අනෙක් සුවිශේෂීත්වය වනුයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කඟමුව අංකටුස්සන් හමුවන එකම තැන මාලිගාකන්ද වීමය. මේ පරිසරයේ තුරුපත් අතර සැඟවී දිවිගෙවන කඟමුව අංකටුස්සන් පිළිබඳව තොරතුරු වාර්තා වූයේ ඉතා මෑතකදීය. හෝටර්න්තැන්න, නුවරඑළිය, සිරීපාදය, ලූල්කඳුර, නමුණුකුල ආදී කඟමුව අංකටුස්සන් ජීවත් වන අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව, මාලිගාකන්දෙන් ඉතා හොඳ ගහනයක් වාර්තා වී තිබේ. ලංකාවේ වාර්තා වෙන අං කටුස්සන් වර්ග පහ අතරින් කඟමුව අංකටුස්සන් තරමක විශාල ශරීරයකට උරුමකම් කියයි. උගේ හොම්බේ අග ඇති අඟෙන් අං කටුස්සන් අතරින් වෙන්ව හඳුනා ගනී.

මාලිගාකන්දේ දිවි ගෙවන සර්ප විශේෂ කිහිපයකි. ලංකාවට ආවේණික වූ එකම මාපිල් විශේෂය වන පඳුරු මාපිල්ලු මාලිගාකන්දේ දිවිගෙවයි. පඳුරු මාපිලුන් සැලකෙනුයේ ඉතා කුඩාම මාපිල් විශේෂය ලෙසිනි. කළු පැහැයේ සිට ළා තැඹිලි පැහැය දක්වා වූ ශරීර වර්ණයකට උරුමකම් කියන කුරහන් කරවලා මේ පරිසරයේදී හමුවන තවත් සර්ප විශේෂයකි. කුරහන් කරවලුන් එතරම් ලෙහෙසියෙන් දැකගත හැකි නොවේ. හිරු එළියට නිරාවරණය වූ සැණින් විජලනයට ලක්ව මිය යා හැකි නිසාම කුරහන් කරවලුන් ජීවත් වනුයේ ඉතා තෙත කොළ රොඩු අතරේය.

පලා පොළඟුන්, ලේ මැඩිල්ලන්ද මෙහි ජීවත් වන අනෙක් සර්ප විශේෂයන්ය. උණහපුළුවන්, දිවියන්, හඳුන් දිවියන්, කොළ දිවියන්, වල් උෟරන් දුර්ලභ රත්් හෝතඹුවන් මෙන්ම කුරුලු විශේෂ සෑහෙන ප්‍රමාණයක් සිය රජදහන කොට ගෙන මේ තුරුපත් අතර දිවිගෙවයි. වන රාජ, ඉරුරාජ වැනි ඕකිඩ් විශේෂ මෙන්ම තවත් හඳුනා නොගත් ඕකිඩ් විශේෂ හා ලයිකන විශේෂ බොහෝ ප්‍රමාණයක් මෙහි දැකගත හැකිය.

අපා, දෙපා, සිවුපා සතුන් මේ තුරුපත් අතර සැඟව ජීවිතය රක්ෂා කරගන්නට වෙර දරද්දී අනවසරයෙන් ඇතුළු වූ මනසින් උසස් සතා ඒ සියල්ල විනාශ කරමින් පවතී. කැලේ මායිම ඉතිරි වන සේ කපා ඉවත් කෙරෙන බිම් කොටස් තේ වගා කොට ඇත්තේ වනයේ ඇති නිසල බව බිඳ දමමිනි. තේ වගාවට හිරුඑළිය අවැසි නිසාම ඒ අවට ඇති රූස්ස ගස් නිහඬවම සිය ජීවිතයට ආයුබෝවන් කියාලති. තේ ගස සරුසාරව වැඩීමට යෙදෙන පොහොර වර්ග තේ ගසේ සැරුසාර බව රන්දාලනුයේ ඒ අවට ජීවත්වන පාංශු ජීවීන්ගේ ජීවිතද උදුරාලමිනි. ජල උල්පත්ද වෙනස් වන සියල්ල හමුවේ කෙමෙන් කෙමෙන් සිඳී යනුයේ අනියත බව නිහඬවම පසක් කරලමිනි. ඒ අවට කඳු මුදුනේ සිට කැඩී ආ පස් තට්ටු නාය යෑමක මහා සලකුණු කියාලයි. මහ හ¾ඩින් හඬ නොනැඟුවද නිහඬව තවත් සාරවත් වූ පරිසර පද්ධතියක් සිය අවමඟුලට කෙමෙන් කෙමෙන් මනසින් උසස් සත්ත්වයන්ම සූදානම් කරලනු කොතරම් ඛේදාන්තයක් වනු ඇත්දැයි සිතා බැලීමට තවත් කල් අවැසි නොවනු ඇත.

සවනි
ඡායා - තිළිණ ප්‍රනාන්දු
විශේෂ ස්තුතිය - දෝතළුඔය සඳරාජ
වන අරණේ අධ්‍යාපන ලේකම්, පරිසරවේදී
මතීෂ කරුණාරත්නට

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්