ජාතික ඇගැයීම් ප්‍රතිපත්තියක්

  👤  2814 readers have read this article !
By mawbima 2017-11-14

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

ශ්‍රී ලංකාව ලබාගන්නා කෝටි ප්‍රකෝටි ගණනක් වූ ණය මුදල් වගවීමෙන් හා විනිවිදභාවයෙන් භාවිත කෙරෙන්නේදැයි අධීක්ෂණය හා ඇගයීම පිණිස ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් පනතක් වශයෙන් ලබන වසරේදී හඳුන්වාදෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් පැවැසීය.
නිදහසින් පසු ශ්‍රී ලංකාව කෝටි ප්‍රකෝටි ගණනින් ණය ලබාගෙන ඇත. ඒවා විවිධ ව්‍යාපෘති සඳහා ආයෝජනය කර තිබේ. එම ආයෝජන කොපමණ ප්‍රයෝජනවත්දැයි ඇගැයීමට ලක්කර නැත. ලබාගත් ණය වාරික ගෙවීමටවත් ඇතැම් ව්‍යාපෘතිවලට හැකියාවක් ලැබී නැති බවද ඇමැතිවරයා කීවේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ දහවල් පැවැති මාධ්‍ය හමුවක් අමතා ඇමැතිවරයා එසේ පැවැසීය.
වගවීම හා විනිවිදභාවය ඉතා වැදගත් විෂයක්. ඒ පිළිබඳ ක්‍රියා කළ යුත්තේ විපක්ෂයයි. එහෙත් අප ආණ්ඩු පක්ෂය නියෝජනය කළත් මේ වන විට වගවීම හා විනිවිදභාවය ඉදිරියට ගෙන යනවා යැයිද ඇමැතිවරයා කීවේය.

ඒ සඳහා ජාතික වගවීම් හා විනිවිදභාවය ගැන ජාතික ප්‍රතිපත්තියක් 2018 වසරේ හඳුන්වා දෙනවා. ණයක් ලෙස ලබාගත් හැම සතයකින්ම උපරිම ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා අධීක්ෂණ හා ඇගැයීම් රාමුවක් සම්පාදනය කළ යුතුයි. ජාත්‍යන්තර ගෝලීය පාර්ලිමේන්තු ඇගයීම් සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා තවත් ප්‍රධාන සංවිධාන කිහිපයක් මඟින් කබීර් හෂීම් ඇමැතිවරයාට පිළිගන්වන ලද සම්මානය තමාට වඩා රටට ලැබුණු සම්මානයක් ලෙස සලකන බවද පැවැසීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇගැයීම් සංගමයේ සභාපති ආනන්ද කුමාරසිරි මන්ත්‍රිවරයා අදහස් දක්වමින් 'ඇගැයීම් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති බවත් මේ විෂයය ගැන දිස්ත්‍රික්ක දහයක රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළ බවත් කීය. ලබන සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ගෝලීය පාර්ලිමේන්තු ඇගැයීම් සමුළුවට පෙර ජාතික ඇගැයීම් ප්‍රතිපත්තිය සකස්කොට අවසන් කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්