ආර්ථික මධ්‍යස්ථානවල කඩ කුලී වැඩි කිරීම ඇතුළු ගැටලුවලට සහන නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා

  👤  2824 readers have read this article !
By mawbima 2017-11-14

ඉෂාරා සිල්වා

ආර්ථික මධ්‍යස්ථානවල කඩ කුලී වැඩි කිරීම ඇතුළු තමන් ඉදිරිපත් කළ ගැටලුවලට සහන ලබා නොදෙන්නේ නම් දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සමඟ එකතු වී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ සභාපති යූ.ආර්. දයා නන්දසිරි මහතා පවසයි.

ඊයේ (12දා) කොම්පඤ්ඤවීදියේ, නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
අවුරුද්දයි මාස තුනක පමණ කාලයක් තිස්සේ අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපේ ආර්ථික මධ්‍යස්ථාන හැම එකක්ම තිබෙන්නේ ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය යටතේ. නිකම් තිබුණ බිම් කඩවල අපි කඩ අටවලා තමයි මේ ව්‍යාපාර හදාගත්තේ. අවුරුදු පහෙන් පහට ක්‍රමානුකූලව කඩ කුලී වැඩිකිරීමක් කළා. වසර 30ට බදු දෙන්නන් කියලා අපේ සල්ලි අරගෙන තවමත් ඔප්පු ලබාදුන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවලිනුත් අපිට නිවැරැදි පිළිතුරක් ලැබුණේ නැහැ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සමහර අය තිස් අවුරුදු බදු ඔප්පුව ගන්න ලක්ෂ අට බැගින් ගෙවලත් ඉවරයි. නමුත් තවමත් ඔප්පු ලබා දීලා නැහැ.

අපට සහනයක් ලබා නොදුන්නොත් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන එකතු කරගෙන වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා. 400%කින් වැඩි කරලා තියෙන කඩ කුලිය අඩු කළ යුතුයි. නැත්නම් අපි පාරට බහින දවස වැඩි අෑතක නෙවෙයි. සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ලේකම් ඩබ්ලිව්. රොෂාන් කුරේ මහතා
ආර්ථික මධ්‍යස්ථානවල කුලිය 400%කින් වැඩි කරලා. ඇතැම් මධ්‍යස්ථාන කඩ කුලී ගෙවනවා. නමුත් බහුතරයක් ආර්ථික මධ්‍යස්ථාන කඩ කුලිය ගෙවන එක අත්හිටුවලා තිබෙනවා. විශේෂයෙන්ම ඇඹිලිපිටිය වැනි ආර්ථික මධ්‍යස්ථානවල කඩ විශාල ප්‍රමාණයක් වසා දමලයි තිබෙන්නේ. අවුරුද්දක් තිස්සේ අපි මේ ගැටලුව ගැන ඇමැතිවරයා ප්‍රමුඛ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. නමුත් අද වනතෙක් මෙයට විසඳුමක් ලබාදීලා නැහැ.

සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා
තක්සේරු දෙපාර්තමේන්තුව ලබාදී තිබෙන කඩ කුලී මිල ගණන්වලට අපි එකඟ වන්නේ නැහැ. ආර්ථික මධ්‍යස්ථානයක් කිසිවක් නොදැන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් තමයි මේ කුලී වැඩි කර තිබෙන්නේ.

ඒ වගේම පිටරටින් ලූනුු, මිරිස්, අර්තාපල්, ගම්මිරිස් වැනි දේවල් ආනයනය කරන නිසා ගොවීන් විශාල අපහසුතාවකට පත්වෙලා සිටින්නේ. අද මේ වෙද්දී ගොවීන්ට කන්න හතරක වගා කටයුතු කරගන්න බැරි වෙලා. ගොවියට වී ටික විකුණගන්න බැරි වෙලා. ඉතිං කොහොමද ආහාර සංග්‍රාමයකට යන්නේ. මේ රටේ ජාතික ආර්ථිකය නඩත්තු වෙන්නේ කෘෂිකර්මාන්තය හරහා. මේ විවෘත ආර්ථිකය හඳුන්වා දීම තුළින් තමයි දේශීය නිෂ්පාදන නැති වුණේ.

ඡායාරූප - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්