අය-වැයට සහාය දෙනවාද? නැද්ද දෙමළ ජාතික සන්ධානය තවම තීරණයක් අරන් නෑ

  👤  2820 readers have read this article !
By mawbima 2017-11-14

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ, මුලතිව්-ශෂි කුමාර්

රජය මඟින් ඉදිරිපත් කරන ලද අය-වැයට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කරනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තම පක්ෂය ස්ථිර තීරණයකට එළැඹ නැතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් 12දා වවුනියාවේදී පැවැසීය.
මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේ පෞද්ගලික හෝටලයක පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා මේ සාකච්ඡාවෙන් අනතුරුව මෙවර අය-වැයෙන් සලසා ඇති සහන පිළිබඳ අගය කිරීමකින් කතා කළේය.
එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පිරිසගේ සුබසිද්ධිය හා යුද වැන්දඹුවන්ගේ ප්‍රයෝජනය පිණිස රජය මෙවර අය-වැයෙන් රුපියල් මිලියන 140ක් වෙන් කොට ඇති බව ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා පැවැසූ අවස්ථාවේදී මාධ්‍යවේදියකු තත්ත්වය එසේ නම් රජයේ අය-වැයට සහාය දෙන්නේදැයි විමසූ විට ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදෙන ලද්දේ සුමන්තිරන් මන්ත්‍රිවරයා විසිනි.
දෙමළ ජාතික සන්ධානය මුහුණ පා සිටින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළේ කවර කරුණුදැයි විමසූ විට සම්පන්දන් මන්ත්‍රිවරයා කියා සිටියේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට තරම් විශේෂ යමක් නොමැති බවයි.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කුමන පක්ෂයකින් කුමන ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන කාරණය සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයකට එළැඹ නැති බවද මෙහිදී ඔහු කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා වාරයේදී මීළඟ මැතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳවත් නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව සම්පන්දන් හා සුමන්තිරන් මන්ත්‍රිවරු කියා සිටියහ.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය රජය සමඟ එකතු වී දෙමළ ජාතික සන්ධානය දියාරු කොට දැමීමට කටයුතු කරන බවට ඇති චෝදනාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඔවුන් කියා සිටියේද මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න ගණනාවක්ම විමසා සිටියත් එම ප්‍රශ්නවලට එක එල්ලේ සාර්ථක පිළිතුරු දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගෙන් නොලැබීම විශේෂ සිද්ධියකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්