පාකිස්තාන් ජාතිකයාගේ බඩෙන් කුඩු ගුළි 42ක් එළියට

  👤  2849 readers have read this article !
By mawbima 2017-11-14

කටුනායක - ගයා තිරිමාදුර

හෙරොයින් ගුළි ලෙසට සකස් කර පසුව ඒවා ගිල දමා පැමිණි 57 හැවිරිදි පාකිස්තානු ජාතිකයකු ඊයේ (13දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පාකිස්තානු ජාතිකයා අලුයම 1.08ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.
මොහු පිළිබඳව තොරතුරු ඒ වන විටත් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් වෙත ලැබී තිබූ හෙයින් ඔවුන් වහාම මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ දහවල් 1.00ට පමණ වන විට එම රෝහලේ වෛද්‍යවරුන් මෙම පාකිස්තානු ජාතිකයා ගිල දමා තිබූ හෙරොයින් ගුළි 42ක් එළියට ගැනීමට සමත් වී ඇත.
පාකිස්තානු ජාතිකයා ගිල දමා ඇති හෙරොයින් ගුළි තවත් ඔහුගේ ආමාශයේ ඇති බව සඳහන් කරන වෛද්‍යවරු ඒවා එළියට ගැනීමට දිගටම විරේක බෙහෙත් ලබාදීම සිදුකරමින් සිටිති.

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ අරඹා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්