බියර් - වයින් බදු සහන ඉවත් කරගන්න: රාජිත මංගලට කියයි

  👤  2913 readers have read this article !
By mawbima 2017-11-14

දයා පෙරේරා, ජේ. ටී. ද සිල්වා

බියර් සහ වයින් සඳහා වන බදු සහන අය-වැය සම්මත කිරීමට පෙර ඉවත් කරගන්නැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීරගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) අය-වැය විවාදයට
එක්වෙමින් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍යයට හානිකර කිසිම දෙයකට මම එකඟ වෙන්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක සෞඛ්‍යය සඳහා පිළිගත හැකි මොඩලය ශ්‍රී ලංකාව බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට පාත්‍ර වී තිබෙනවා. එම නිසා කිරි හැළියට ගොම හැන්දක් දා ගන්න ඕනෑ නැතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
බියර් බදු අඩු කිරීමට මට කිසිසේත් එකඟ වෙන්න බැහැ.

බියර් බද්ද ඉවත් කරන්න. තරුණයන් හා ළමයින් බේරා ගන්න. බියර් ප්‍රශ්නයක් නොවන බව කීවත් ළමයින්ට එමඟින් උත්තේජනයක් ඇති වෙනවා. බියර්වලින් පටන්ගෙන අනෙකුත් සැර මත්පැන්වලට යනවා යැයිද අමාත්‍යවරයා කීවේය.
මුදල් ඇමැතිවරයාට ලබාදී ඇති සංඛ්‍යාලේඛන වැරැදියි. මත්පැන් පරිභෝජනයෙන් 49%ක් නීතිවිරෝධී මත්පැන් බව කීම වැරැදියි. නාටා ආයතනය සකස් කළ නියම දත්ත මට දිය හැකියි. අනූව දශකයේදී බියර් බදු අඩු කිරීමටත් ඔවැනි කතා කීවා.

ඇත්ත වශයෙන්ම නීති විරෝධී මත්පැන් දැන් අඩුව තිබෙන්නේ. 49%ක් නැහැ. එය සියයට 6 -10 අතර ප්‍රමාණයක් වන බවත් ඇමැතිවරයා කීය.
යුරෝපයේ වගේ නොවේ ආසියාවේ සංස්කෘතිය. ආසියාවේ මත්පැන් පානය කරන්නේ 'සූර් එකක්' ගන්නයි. යුරෝපයේ ආහාර වේලේ, ජීවන රටාවේ, සංස්කෘතියේ කොටසක්. ඒ නිසා ආසියාවට ඔය දත්ත හරියන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ අවුරුදු 15ට වැඩි පිරිමින්ගෙන් මත්පැන් පානය කරන සංඛ්‍යාව සියයට 35ක් පමණයි. කාන්තාවන් ගණන සියයට 1යි. මුළු ජනගහනයෙන් සියයට 20කට වැඩි නැහැ මත්පැන් පානය කරන සංඛ්‍යාව. යැයිද ඇමැතිවරයා කීවේය.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ අය-වැයෙහි අනාගතවාදී ප්‍රතිපත්ති ඇති බවද ඇමැති රාජිත සේනාරත්න සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්