පියදාස කුඩාබාලගේ-නීල් හපුහින්න සමඟ ගාමිණි සෙනරත් රිමාන්ඩ්

  👤  3100 readers have read this article !
By mawbima 2017-11-14

අමිල අබේරත්න

පසුගිය රජය සමයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව කොල්ලුපිටියේ ඇරැඹීමට සැලසුම් කර තිබූ "හයට් රීජන්සි කලම්බු" (ග්‍රෑන්ඩ් හයට් කලම්බු) නමැති...හෝටල් ව්‍යාපෘතිය සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 18.5ක මුදලින් බිලියන 4ක මුදලක් යොදවා අනුමැතිය නොලත් "හයට් රීජන්සි හම්බන්තොට" නමැති පෞද්ගලික හෝටල් ව්‍යාපෘතියක් අරඹා රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සැකකරුවන් ලෙස නම් කළ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සේදර සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුහින්න හෙට (15දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (13දා) නියෝග කළාය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඔවුන් තිදෙනා සැකකරුවන් ලෙස අධිකරණයට භාර වූ අවස්ථාවේදීය.

ශේ්‍රෂ්ඨාධිකරණයේ නියමය පරිදි පසුගිය සිකුරාදා ඔවුන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අතර එදින ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තම සේවාදායකයන් සැකකරුවන් ලෙස භාර නොවන බව දන්වා සිටින ලදී.
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වන ගාමිණී සේදර සෙනරත්, රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ අනෙක් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පිරිස සිද්ධිය සම්බන්ධයෙන් වාචිකව කරුණු දක්වමින් කියා සිටියේ ඔවුන් කිසිදු ලෙසකින් රජයේ මුදල් අවභාවිත කර නොමැති බව හා සිද්ධිය පොදු දේපළ පනතට නොගැනෙන බවය.

හයට් රීජන්සි නමැති හෝටල් ව්‍යාපෘතිය සඳහා යොදවා ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිට්රෝ ගෑස් සමාගමේ සහ කුන්විල් සෙල්විසයස් නමැති සමාගම් 3හි මුදල් බවද එම සියලු මුදල් එම සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය යටතේ යොදවා ඇති බවද එම නීතිඥවරු ප්‍රකාශ කළහ.

එම හෝටල් ව්‍යාපෘතිය සඳහා සේවක අර්ථසාධක අරමුදල (ඡ්ර්ථීජ්) මුදල් යොදවා ඇතත් එම මුදල් යොදවා ඇත්තේද මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව බවද එම මුදල් යොදවා ඇත්තේ කොටස් ආයෝජනය කිරීමක් ලෙසින් බවද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම යන ආයතන සංස්ථාපිත සමාගම් වන බැවින් සිද්ධිය පොදු දේපළ පනතට නොගැනෙන බවද එම නීතිඥ පිරිස අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.
සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත සැලකිරීම් ඉදිරිපත් කළ යුතු බව දන්වා සිටි අතර අනිද්දා (15දා) දින නඩුව කැඳවීමට තීරණය කළාය.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ගාමිණී සේදර සෙනරත් මහතාට ශ්වසන ආබාධයක් පවතින බැවින් ඒ සඳහා බන්ධනාගාරය තුළදී ශ්්වසන යන්ත්‍රයක් භාවිත කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඔවුහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහා පහසුකම් සලසන ලෙස බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයාට දන්වා යවනු ලැබුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්