නැවියෝ පරදා සී.ආර්. ජයගනී

  👤  3304 readers have read this article !
By mawbima 2017-11-13

අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සති අන්තයේ තරග නිමා වන විට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක්ස්, සී.ආර් ඇන්ඩ් එෆ්.සී. සහ මහනුවර ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූ අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජය වීමත් හැව්ලොක්ස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු සහිතව ජයග්‍රහණ ලබා ගැනීමත් විශේෂත්වයකි.

ඒ අනුව පෙරේදා (11දා) කොළඹ පොලිස් ක්‍රීඩාපිටියේදී පැවැති පසුගිය වසරේ ලීග් රග්බි ශූරතාවට හිමිකම් කියන මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 43 ට 11 ක් ලෙස ජයගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 31-6ක් ලෙස ඉදිරියෙන් සිටි මහනුවර කණ්ඩායම අවසානයේදී ගෝල 4ක් සහ උත්සාහක දිනුම් 3ක් සමඟින් ජයග්‍රහණය සටහන් කරන විට පොලිස් කණ්ඩායමට ලකුණු එකතු වූයේ එක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් ඇසුරෙනි. එදිනම කොළඹ ලොන්ඩන් පෙදෙසේ පැවැති අනෙක් තරගයේදී ලකුණු 38-23ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්විය. එහිදී පළමු භාගය නිමා වන විට ලකුණු 7ට 23ක් ලෙස නාවික හමුදා කණ්ඩායම ඉදිරියෙන් සිටියද දෙවැනි භාගයේදී සී.ආර්. පිල තවත් ලකුණු 31ක්ම රැස්කරගන්නා විට නැවියන්ට ලකුණු කිසිවක් එකතු කර ගැනීමට ඉඩ නොලැබුණු බැවින් පරාජය අත්විය.

කෙසේ වෙතත් සී.ආර්. ක්‍රීඩකයෝ ගෝල 5ක් හා දඬුවම් පහර 1කින් ලකුණු ලබා ගන්නා විට පරාජිත නාවික හමුදා පිල ලකුණු රැස්කරගෙන තිබුණේ ගෝල 2ක් සහ දඬුවම් පහර 3ක් මඟිනි. මේ අතර පසුගිය සිකුරාදා පැවැති කොළඹ හැව්ලොක්ස් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 44-23ක ජයක් හැව්ලොක්ස් කණ්ඩායමට හිමි විය. මහනුවර පිල මෙන්ම ප්‍රසාද ලකුණු සහිතව දෙවැනි ජයත් මෙවර වාර්තා කළ හැව්ලොක්ස් කණ්ඩායම ගෝල දිනුම් 2ක් සහ උත්සාහක දිනුම් 6ක් ඇසුරෙන් ලකුණු රැස්කර ගන්නා විට ගෝල 2ක් සහ දඬුවම් පහර 3ක් මඟින් ගුවන් හමුදා පිලට ලකුණු වාර්තා විය.

එදිනම පැවැති සී.එච් ඇන්ඩ් එෆ්.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර තරගයද උණුසුම් මුහුණුවරක් ගත් අතර පසුගිය වතාවට වඩා ඉහළ දක්‍ෂතා අතරට පැමිණ ඇති සී.එච්. කණ්ඩායම තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 15-10ක් ලෙස ඉදිරියෙන් සිටියේය. නමුත් 2වැනි භාගයේදී පෙරළා පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ තවත් ලකුණු 10ක් එකතුකර ගත්තේ සී.එච්. ක්‍රීඩකයන්ට කිසිදු ලකුණකට යාමට ඉඩ නොදෙමිනි. ඒ අනුව ගෝල 2කින් හා දඬුවම් පහර 2කින් යුද හමුදා පිල තරගය අවසන් කරන විට සී.එච් පිලේ ලකුණු සටහන වූයේ ගෝල-1, උත්සාහක දිනුම් -1 හා දඬුවම් පහර 1කි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්