දක්ෂතම ක්‍රීඩකයා බළපිටියේ හිරුෂ : ක්‍රීඩිකාව දික්වැල්ලේ සදිනි

  👤  3305 readers have read this article !
By mawbima 2017-11-13

ගමිත දෙහිපිටිය

දින තුනක් පුරා දියගම ක්‍රීඩාංගණයේ පැවැති ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගියදා (10දා) නිමාවට පත් වූ අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්‍රසාද ලකුණු 820ක් ලබාගත් බළපිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයේ හිරුෂ මෙන්ඩිස් අබේසේකර සම්මාන දිනාගනිද්දී ප්‍රසාද ලකුණු 884ක් ලබාගත් දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ සදිනි කවීෂා දක්ෂතම ක්‍රීඩිකාව සහ හොඳම දුර පැනීමේ ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගත්තාය.

මෙවර තරගාවලියේ සමස්ත බාලක ශූරතාව කොළඹ ශාන්ත ජෝශප් විදුහල දිනාගත් අතර සමස්ත බාලිකා ශූරතාව නාවල ජනාධිපති බාලිකා විදුහලට හිමි විය. සමස්ත තරගාවලියේ අනුශූරතාවන් පිළිවෙළින් මාතර රාහුල විදුහල විසින් සහ රත්නපුර සුමන බාලිකා විදුහල විසින් දිනාගන්නා ලදී. තවද සමස්ත තරගාවලියේ බාලක සහාය දිවීමේ ශූරතාව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය විසින් දිනාගනිද්දී එහි බාලිකා ශූරතාව හලාවත කාමෙල් බාලිකා විදුහල විසින් දිනාගන්නා ලදී.

මේ අතර තරගාවලියේ අවසන් දිනයේදී වයස අවුරුදු 13න් පහළ බාලිකා මීටර් 100 අවසන් තරගය තත්පර 13.0 කදී නිමාකරමින් ජයගත් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ රුවන්සා වීරක්කොඩි, තරගාවලියේ සිය තෙවැනි තරගාවලි වාර්තාව පිහිටුවීමට සමත් වීම කැපී පෙනිණි. තවද වයස අවුරුදු 15න් පහළ බාලක මීටර් 100 අවසන් තරගය නව තරගාවලි වාර්තාවක්ද සමගින් තත්පර 11.1කින් නිමාකළ ගාල්ල මහින්ද විද්‍යාලයේ එච්.එස්. මල්වාන, තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්විය.
කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ සදිනි කවීෂා අවුරුදු 15න් පහළ බාලිකා දුර පැනීමෙන් මීටර් 5.47ක දුරක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිට වූ අතර දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූ බළපිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයේ හිරුෂ මෙන්ඩිස් අබේසේකර අවුරුදු 15න් පහළ බාලක දුර පැනීමෙන් මීටර් 6.52ක දුරක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.

කෙසේ වෙතත් මම තරගාවලියේදී නව තරග වාර්තා 22ක් සටහන් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්