අපරාජිත ශ්‍රී ලංකා පිල අද පාකිස්තානය සමඟින් තරග බිමට

  👤  3348 readers have read this article !
By mawbima 2017-11-13

ඉෂාන් රශ්මිත

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන මැලේසියාවේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම අපරාජිත බව රැකගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් පිල පාකිස්තාන යොවුන් පිල සමඟින් අද (13දා) කින්රාරා ඕවල් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.
තරගාවලියේ 'බී' කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා යොවුන් පිල පළමු දිනයේදී (10දා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කඩුලු 7කින් පැරදවූ අතර, දෙවැනි දිනයේදී (11දා) ඇෆ්ගනිස්තාන යොවුන් පිල ලකුණු 61කින් පරදවා 'බී' කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි.

ශ්‍රී ලංකා යොවුන් පිල සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් පිල අතර තරගයේදී පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාලමින් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 17කට කඩුලු 4ක් දවාලූ ශ්‍රී ලංකා යොවුන් පිලේ වමත් ආරම්භක වේගපන්දු යවන තිසරු රශ්මික තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා යොවුන් පිල සහ ඇෆ්ගනිස්තාන යොවුන් පිල අතර තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 17කට කඩුලු 5ක් දවාලූ ශ්‍රී ලංකා යොවුන් පිලේ දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් වාර්තා වූ පළමු අර්ධ ශතකය රැස් කිරීමට ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ සමත්විය.

අද (13දා) දින ශ්‍රී ලංකා යොවුන් පිල සහ පාකිස්තාන යොවුන් පිල අතර වන තරගයට අමතරව, බංග්ලාදේශය සහ මැලේසියාව අතර තරගය ද පැවැත්වේ.
ශ්‍රී ලංකා යොවුන් පිල කමිඳු මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර, හසන් ඛාන් විසින් පාකිස්තාන යොවුන් පිල මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකා යොවුන් පිල - එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් පිල එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් පිල: 67 (පන්දුවාර 22) සයිඩ් හයිඩර් 16, තිසරු රශ්මික 4/17, ජෙහාන් ඩැනියෙල් 3/14, ප්‍රවීන් ජයවික්‍රම 2/13 ශ්‍රී ලංකා යොවුන් පිල: 68/3 (පන්දුවාර 16) කමිඳු මෙන්ඩිස් නොදැවී 27, ක්‍රිෂාන් සංජුල 15, නිපුන් ධනංජය නොදැවී 11, ෂා ෆයිසාල් 2/13 ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 7ක ජයක්.

ශ්‍රී ලංකා යොවුන් පිල - ඇෆ්ගනිස්තාන යොවුන් පිල ශ්‍රී ලංකා යොවුන් පිල: 196/8 (පන්දුවාර 42) හසිත බෝයගොඩ 53, ජෙහාන් ඩැනියෙල් 36, ධනංජය ලක්ෂාන් 24, නුවනිදු ප්‍රනාන්දු 19, ඉබ්රාහිම් සර්දාන් 2/24, නවීන් උල්හක් 2/57 ඇෆ්ගනිස්තාන යොවුන් පිල: 135 (පන්දුවාර 33.5) දර්විස් රසූලි 50, ඉබ්රාහිම් සර්දාන් 27, ප්‍රවීන් ජයවික්‍රම 5/17, ජෙහාන් ඩැනියෙල් 2/20 ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 61ක ජයක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්