ලබන වසරේ සිට සමෘද්ධි බැංකුව හරහා ණය ලබාදීම ඇතුළු සේවාවන් ගණනාවක් අරඹනවා

  👤  3327 readers have read this article !
By mawbima 2017-11-13

හර්ෂනී අර්සකුලරත්න

ලබන වසරේදී සමෘද්ධි බැංකු හරහා ක්ෂුද්‍ර ණය ලබාදීම, ලීසිං පහසුකම් ලබාදීම, උකස් සේවාව ඇතුළු සේවාවන් ගණනාවක් ආරම්භ කරන බව සමාජ සවිබල ගැන්වීම් සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳව ඇමැති එස්. බී. දිසානායක පවසයි.
එසේම නවීන බැංකුවල ඇති තාක්ෂණය හා පහසුකම් සහිතව සමෘද්ධි බැංකු නවීකරණය කරන බවද ඇමැතිවරයා පැවසුවේය.
එවැනි ක්‍රමෝපායන්් හරහා සමෘද්ධි බැංකු ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමටත් ලොව අනෙකුත් රටවල දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරවල මෙන් රජයට ණයවීමට හෝ රජයෙන් යැපීමේ අවශ්‍යතාව ඉන් මඟහැරී යන බවද හෙතෙම පැවැසීය.

එසේම සිය අමාත්‍යාංශය යටතේ පවතින සමාජ සේවා දෙපාර්තමේන්තුවේ, වැඩහිටි මහ ලේකම් කාර්යාලයේ හා සමාජ ආරක්ෂණ මණ්ඩලයේද සහයෝගය ඇතිව ලබන වසර වන විට රට පුරා ඇති සමෘද්ධි බැංකු 1074 සඳහා වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවන බවද ඇමැතිවරයා පැවැසුවේය.
එහි පැමිණ වැඩිහිටියන්ට අවශ්‍ය ලෙස සුහදව සාකච්ඡා කරන්නට, කැරම් දාම් වැනි ක්‍රීඩාවල නියුතු වන්නට හැකි බවත් පුස්තකාල පහසුකම්, ශරීර සුවතා ව්‍යායාම සඳහා අවශ්‍ය පහසුකම්ද සපයා දෙන බවත් ඔහු පැවසුවේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (11දා) වරකාපොළ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීන්ට හා සමෘද්ධිලාභීන්ට පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමේ හමුවකට සහභාගි වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්