මේක ජාතික සම්පත් විකිණීමේ අය-වැයක්

  👤  3324 readers have read this article !
By mawbima 2017-11-13

මෙවර අය - වැය රටේ ඉඩම් ගොඩනැඟිලි සහ නිවාස විකිණීමට පදනම සකසා ගත් 'ජාතික සම්පත් විකිණීමේ' අය - වැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසයි. මන්ත්‍රිවරයා පවසන්නේ රාජපක්ෂගේ ණයත් මෛත්‍රි රනිල් හා මංගලගේ නව බදු එක්කර සැකසුණු මෙම අය - වැය ලේඛනය හරහා රටට තවත් රුපියල් කෝටි 1,89,500ක නව ණයක් ගැනීමේ සූදානමක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක 2017 ඉදිරිපත් කළ අය - වැයත් ඇමැති මංගල සමරවීර මෙවර ඉදිරිපත් කළ 2018 අය - වැයත් අතර කිසිදු වෙනසක් නොමැති අතර ගියවර රවි කරුණානායක වැඩි කළ ඉලෙක්ටි්‍රක් වාහන මිල මෙවර ඔළුවෙන් හිටවා මංගල සමරවීර විසින් පහත දමන්නේ වත්මන් ආණ්ඩුවට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොමැති බවට ඔප්පු කරමින් යැයි හේරත් මහතා පෙන්වා දෙයි.

ඒ මහතා පවසන්නේ ජාතික ආර්ථික සභාව නමින් ආරම්භ කළ ආයතනයක් වෙනුවෙන් රුපියල් කෝටි 27ක්ද මෙයින් වෙන් කර ඇති අතර එහි තීන්දු තීරණ ගැනීමට පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම යන ආර්ථික කමිටුව බවයි.
මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (10දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා
2018 වර්ෂය සඳහා රජයේ ආදායම කෝටි 2,26,000ක් ඉලක්ක කරනවා. ණය ගෙවීම්ද ඇතුළත්ව සමස්ත වියදම රු. කෝටි 4,15,500ක්. රුපියල් කෝටි 1,89,500ක හිඟයක් තිබෙනවා. හිඟය පියවීමට ආදායම් හොයාගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. රටක ආර්ථිකය ශක්තිමත් කරන්න නිෂ්පාදනය වැඩි කළ යුතුයි. නමුත් මේ අය - වැය පුරාම නිෂ්පාදනය වෙනුවට තව තවත් බදු යෝජනා කර තිබෙනවා. රුපියල් කෝටි 1,89,500ක ණය ගැනීමේ සූදානමක් ආණ්ඩුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. යෝජනාවල සමස්ත බදු ආදායම රුපියල් කෝටි 2,03,400ක්. මේ ආදායම දැනටමත් පනවා තිබෙන සහ අලුතෙන් එකතු කරන ලද බදුවලින් අපේක්ෂා කරනවා. බදු වැඩි කිරීම් තුළින් අලුතෙන් රුපියල් කෝටි 11,000ක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා. පිරිවැටුම් බද්ද, ජාතිය ගොඩනැඟීමේ බද්ද, වැට් බද්ද වගේ මෙතෙක් ක්‍රියාත්මක වන බදුවලට අමතරව අලුත් බදු ඇතුළත්ව මේ රුපියල් කෝටි 11,000 ලබාගන්න අපේක්ෂා කරනවා. හරය වෙලා තිබෙන්නේ තවත් වැඩියෙන් ණය ගැනීමත් වැඩියෙන් බදු ගැහීමත් විතරයි.

මෙතෙක් අය නොකළ භාණ්ඩ හා සේවා සඳහා වැට් සහ ජාතිය ගොඩනැඟීමේ බදු පනවලා තිබෙනවා. ඊට අමතරව වාහනවලට අලුතෙන් කාබන් බද්දක් හඳුන්වාදී තිබෙනවා. මෙතෙක් කල් ඉතිහාසයේ නොතිබුණු බද්දක් ලෙස 'ණය ආපසු ගෙවීමේ බද්ද' හඳුන්වාදී තිබෙනවා මංගලගේ මංගල අය - වැයෙන්. මංගල බද්දත් ගහලා තිබෙනවා. දැනට තිබෙන රජයේ ගාස්තු වැඩිකර තිබෙනවා. ජනතාව මත පටවන වක්‍ර බදු අතරින් ප්‍රධාන එකක් වන වැට් බද්දෙන් රුපියල් කෝටි 2,500ක් අලුතින් ලබාගන්න අපේක්ෂා කරනවා. අය - වැය සටහන්වල මේ බදු අයකරගන්නා ආකාරය පැහැදිලිව සටහන් වෙනවා. මෙතෙක් වැට් බද්ද නොතිබුණු පැළ සහ මල් වර්ග, ප්ලාස්ටික් පබළු, වූල් රෙදි, දැව සහ දැව භාණ්ඩ, ඩයි වර්ග, විදුලි පබළු, කාර්මික රාක්ක, විදුලි උපකරණ, ඇස් කණ්ණාඩි, කැමරා සහ ප්‍රොජෙක්ටර්, ඔරලෝසු යනාදිය මත අලුතෙන් බදු එකතු කරනවා.
ඇස්පෙනීම දුර්වල රෝගීන් ලබාගන්න ඇස් කණ්ණාඩියටත් මේ ආණ්ඩුව වැට් බද්ද පනවලා තිබෙනවා. මේවා අය - වැය කතාවේදී කිව්වේ නැහැ. හංගලා ගැහුව්වේ. විදුලි උපකරණවලට බදු පැනවීමෙන් නිවාසවල පාවිච්චි කරන සෑම විදුලි උපකරණයකම මිල වැඩිවෙනවා.

සියලුම බැංකු ඇතුළු මූල්‍ය ආයතනවල ගනුදෙනු කරන රුපියල් දහසකට ශත 20ක බදු පනවලා ණය ගෙවීමේ බද්ද හඳුන්වාදී තිබෙනවා. මේ බද්ද පාරිභෝගිකයන් මත නොපටවා බැංකුවලින් අයකරගන්නා බවට ප්‍රෝඩාකාරී සටහනක් තිබෙනවා. එහෙම නම් බැංකුවල ලාභය මත බදු ප්‍රතිශතයක් අයකරගන්න තිබුණා. නමුත් අනිවාර්යෙන්ම බැංකු තමන්ගේ පොලී අනුපාත ඉහළ දමා මේ මුදල් ගනුදෙනුකරුවන්ගෙන් අය කර ගන්නවා. එහෙම කරන්න නොදෙන බව ආණ්ඩුව කීවත් අනිවාර්යයෙන්ම මේක ගනුදෙනුකරුවන් මත පටවනවා.

ණය ගෙවීමට අයකරන බද්දෙන් රුපියල් කෝටි 2,000ක් අපේක්ෂා කරනවා. ගාස්තු සංශෝධනය කියලා 15%කින් රජයේ සේවා ගාස්තු වැඩි කරන්න යෝජනා කර තිබෙනවා. උප්පැන්න සහතිකය, හැඳුනුම්පත් ගාස්තුව, විදේශ ගමන් බලපත්‍ර, ඔප්පු ගාස්තු, මුද්දර ගාස්තු, විභාග අයැදුම්පත් ගාස්තු වගේ හැමදේකම ගාස්තු වැඩි කෙරෙනවා. විදුලි, ජල ගාස්තු වැඩිකිරීම් මේකට අදාළ නැතත් එම ආයතන වෙනම ගාස්තු වැඩි කරනවා. රුපියල් කෝටි 750ක් මේ තුළින් ආණ්ඩුව අපේක්ෂා කරනවා.

අය - වැයේ නිශ්චිතවම සඳහන් කර තිබෙනවා, අපේ රටේ මහල් 4ට අඩු නිවාස විදේශිකයන්ට විකිණිය හැකි බව. ඕනෑම විදේශීය සමාගමකට මේ රටේ ඉඩම් මිලදී ගැනීමට හැකියාව හදලා තිබෙනවා. විදේශීය කොම්පැනිකාරයන්ට අපේ රටේ දේපොළ විකුණන්න පාර කපලා. මේ අය - වැය සම්පූර්ණයෙන්ම රට විකුණන්න පාර කපන අය - වැයක්. වරාය විකුණනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි විකුණනවා. ගුවත්තොටුපොළ විකුණනවා. ඒවා අය - වැයට පිටින් යන්නේ. ණය ගෙවීමට හිලව් කරන්න ආයතන විකුණන බව කියනවා. නමුත් ඉදිරිපත් කරන අය - වැය ලේඛනවලින් ඒ ණය හිලව් කළ ප්‍රමාණය ගැන කිසිම සඳහනක් නැහැ. ජ.විපෙ. මන්ත්‍රි වෛද්‍ය නිලින්ද ජයතිස්ස,

සීනි අඩංගු පානවර්ග සඳහා ආණ්ඩුව අලුතින් බද්දක් යෝජනා කර රුපියල් මිලියන 5,000ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. ජනතාව දියවැඩියාවෙන් බේරගන්න බද්ද ගහන බව කියමින් ආණ්ඩුව බීර මත පනවා තිබෙන බද්ද අඩු කරනවා. ජනවහරේ නම් තියෙන්නේ නංගි පෙන්වලා අක්කා දෙනවා කියලා. මේක වෛද්‍ය විද්‍යාත්මක කිව්වොත් අග්න්‍යාශය පෙන්නලා අක්මාවට ගහන අය - වැයක්.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්