දරුවා සමාජය තුළ අනාරක්ෂිත වීම බරපතළ ප්‍රශ්නයක්

  👤  3342 readers have read this article !
By mawbima 2017-11-13

රටේ පවතින ළමා සුරක්ෂිත බව හා අනාරක්ෂිත බවට පත් කිරීම පිළිබඳ සාමාන්‍ය නීතිය පිළිබඳව පාසල් ළමයින් හා ගම්වැසියන් දැනුවත් කිරීමට ඒ පිළිබඳව ස්වේච්ඡාවෙන් වැඩ කරන නීතිඥ කණ්ඩායම් රටේ ගම් දනව්වලට හා පාසල්වලට යැවීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 10දා පොළොන්නරුවේදී පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ "දරුවන් සුරකිමු" ජාතික ව්‍යාපාරයේ දෙවැනි අදියර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී ඇරැඹි අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
දරුවන් සුරකිමු ජාතික ව්‍යාපාරයක් අප විසින් ආරම්භ කළේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් මේ රට තුළ මතුවෙලා තිබෙන නිසයි. අන්තර් ජාතික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව සෑම අංශයකම තිරසර සංවර්ධනය උදෙසා කටයුතු කරන්න ඕන. එහි එක් වැදගත් අංශයක් විදියට දරුවන් රැකීමේ ජාතික ව්‍යාපාරය අපි පටන් ගත්තා.

සමහර අවස්ථාවල මව, පියා ළඟ දරුවන් අනාරක්ෂිත වූ අවස්ථා මෙන්ම පාසල තුළ දරුවන් අනාරක්ෂිත වූ අවස්ථා අපි අහල තියෙනවා. එපමණක් නොවෙයි නොයෙක් අයුරින් දරුවා අද අනාරක්ෂිත වීමට ඉඩ තියෙනවා. ඒ නිසා අද දරුවන්ගේ අනාරක්ෂිත බව පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් අපේ සමාජයේ තිබෙනවා. එය දියුණු සමාජයක ලක්ෂණයක් නොවිය යුතුයි. දියුණු සමාජයක සෑම විටම මව පියාට පමණක් නොව සමස්ත සමාජයේම වගකීමක් වෙනවා දරුවන් ආරක්ෂා කිරීම. එවැනි තත්ත්වයන් මත අපි අද මේ තුන් අවුරුදු සැලැස්ම ක්‍රියාවට නංවන්න කටයුතු කළා. රුපියල් කෝටි 524ක් මේ සඳහා වෙන් කරලා තියෙනවා.
මේ රටේ ජනගහනයෙන් 36%ක් දරුවන්. එහෙමත් නැත්නම් අවුරුදු 18ට අඩු අය. ඒ නිසා මේ ආරම්භ කළ ජාතික වැඩසටහන දිස්ත්‍රික්ක වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු පළාත් සභා සියල්ල එක්වයි මේ කාර්යය කරන්නේ. රාජ්‍ය නොවන ආයතනත් මේ සඳහා අපි එකතු කරගන්නවා. මේ සඳහා කැපවීමෙන් වැඩකරන ස්වේච්ඡා සංවිධාන රාශියක් මේ රටේ තිබෙනවා. මේ සියල්ල ඒකාබද්ධ වූ ජාතික වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහනට සියලු දෙනා එක්වන්නැයි මම ඔබට ආරාධනා කරනවා.

අද මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය ඉතාමත් බරපතළයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මිනිසුන්ට ආදරේ නෑ. දරුවන්ට ආදරේ නෑ. ඔවුන් ආදරේ කරන්නේ සල්ලිවලට විතරයි. ඔවුන් මිනිස් ජීවිතවලට කිසිම වටිනාකමක් දෙන්නේ නෑ. අපි සෑම කෙනෙක්ම මත්ද්‍රව්‍යවලින් ඉවත් වෙන්න ඕන. අපේ දරුවන් ඉන් මුදා ගත යුතුයි. මෙතන මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිසක් ඉන්නවා නම් මම ඔබට ආයාචනයක් කරනවා ඔබ ඔබට අවංකව හොඳ ආත්ම ශක්තියකින් යුක්තව, චිත්ත ධෛර්යයෙන්් මත්ද්‍රව්‍යවලින් වෙන් වෙන්න අදිටන් කර ගන්න. මීට අවුරුදු 5කට පමණ පෙර සෞඛ්‍ය ඇමැති කාලේ මම සිගරට්වලට, දුම්වැටියට විරුද්ධව ජාතික ව්‍යාපාරයක් පටන් ගත්තා. එහි ප්‍රතිඵල අද තිබෙනවා. ලංකාවේ සිගරට් අලෙවිය විශාල වශයෙන් පහත වැටිලා තිබෙනවා. ලංකාවේ තිබෙන විදේශීය සිගරට් සමාගම විවිධ අංශවලින් රජයට ඉල්ලීම් කරනවා ඒ අයගේ නිෂ්පාදන අලෙවිය පහත වැටිලා ඒක නිසා බීඩි නිෂ්පාදනය කරන අයගෙන් විශාල බද්දක් අයකරන්න කියලා. ඔබ දන්නවා අද විස මත්ද්‍රව්‍ය කොච්චර සමාජය තුළ තිබෙනවාද කියලා. මත්පෙති, මත්කුඩු සමාජය තුළ ගලාගෙන ගිහිල්ලා.

එමෙන්ම ජංගම දුරකතනය, අන්තර්ජාලය පිළිබඳවත් හොඳ අවධානයෙන් සිටිය යුතුයි. ඒ නිසා මේ සියලු දේ පිළිබඳව අපි අවබෝධයෙන් කටයුතු කිරීම අවශ්‍යයි.
අපි දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කරන්න ඕන. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. දරුවාට නිවෙස ආරක්ෂිත තැනක් විය යුතුයි. දරුවාට පාසල ආරක්ෂිත තැනක් විය යුතුයි. පූජනීය ස්ථාන දරුවාට ආරක්ෂිත තැනක් විය යුතුය. දරුවාට සමස්ත සමාජයම ආරක්ෂිත තැනක් විය යුතුයි. දරුවන්ගේ හැසිරීම් අනුව අපි බොහෝ දේ තේරුම් ගත යුතුයි. ඇතැම් වෙලාවට අපි බාහිරව දකින දේ තුළ පමණක් තීන්දු තීරණ ගන්නවා. එය කිසිසේත් නොකළ යුතුයි. එවැනි අවස්ථාවල අපි ඔවුන්ගේ අභ්‍යන්තර කායික හා මානසික තත්ත්වය දන්නේ නෑ. ඔවුන්ට තිබෙන විවිධ සමාජීය ප්‍රශ්න අපි දන්නේ නෑ. ඒ නිසා එය නොකළ යුතුයි. අපි තීන්දු තීරණ ගැනීමට පෙර විවෘත මනසින් ඒ ප්‍රශ්න ගැටලු දෙස බැලිය යුතුයි.

විශේෂයෙන්ම දරුවන්ගේ ප්‍රශ්නවලදී දරුවන්ගේ හැසිරීම්, ක්‍රියාකාරි තත්ත්වයන්, අභ්‍යන්තරික තත්ත්වයන් ඇතුළු විවිධ අංශ පිළිබඳව අපි දකින දේ වගේම අභ්‍යන්තර තත්ත්වයන් සොයා බලන්න ඕන. ඒවාට අපි විසඳුම් දෙන්න ඕන. ඒ නිසා දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත බව වෙනුවෙන් ඔබ සියලු දෙනාගේම සහය මා ඉල්ලා සිටිනවා. දරුවන් සුරැකීමේ ව්‍යාපාරය අපි සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව දිසාපතිතුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා හා අදාළ සියලු අංශ පුළුල් වගකීමකින් කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දරුවන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ
තමන්කඩුව - ගාමිණී ඔබේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්