මම කිසිම දේශපාලනඥයකු සමඟ ඩීල් දාන්නේ නැහැ ඩීල් දාන්නේ ජනතාව එක්ක විතරයි

  👤  3463 readers have read this article !
By mawbima 2017-11-13

එක් වරක් රැවටුණු තමා නැවත වරක් නොරැවටෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හෙතෙම මේ බව පැවැසුවේ ඊයේ (12දා) අනුරාධපුරයේ පැවැති ජන රැලියකට එක්වෙමිනි.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීම සහ ඉදිරි මැතිවරණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන්, පැවැති මංගල ජනරැලිය ලෙස මෙම රැලිය පැවැත්විණි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විශාල පිරිසක් මෙම රැලියට එක්වී සිටි අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ප්‍රාදේශීය නායකයන් දෙපළක් මෙහිදී පොදු ජන පෙරමුණට එක්විය.
එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

අපේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන සියලු දෙනාම අනාගත මන්ත්‍රිවරුන්. අද මේ ජන ගඟ ගලල තිබෙන්නේ ආණ්ඩුව ගෙදර යවන්නයි. අපි එකපාරක් රැවටුණාට දෙපාරක් රැවටෙන්නේ නැහැ. අපි ඉන්නේ ජනතාවත් එක්ක. මේ ආණ්ඩුව ජනතාවගේ අභිමතය හා බලාපොරොත්තු සුන් කළා. ජනමතයට පයින් ගහලයි රනිල් වික්‍රමසිංහ අගමැති කළේ. අපේ කාලයේ රට ස්වයංපෝෂිතයි. අපි එදා හාල් පිටරට යැව්වා. අද අපේ ජනතාව තෙල් එනකම් බලන් ඉන්නවා. අද අපි හදපු දේවල් විකුණලා දානවා. මේ විදියට සම්පත් විකුණන කොට අපිට ඉතුරු වෙන්නේ මොනවාද? අද අපේ රටට ආයෝජකයෝ එන්නේ නැහැ. සෑම ජන කොටසක්ම පීඩාවට පත්වෙලා.

අය - වැයෙන් දුන්නු දෙයක් නැහැ. ඇස් කණ්ණාඩියටත් බදු ගහපු ආණ්ඩුවක් මේක. මීයෝ රා බිව්වාම කියපු කතා අපි ගණන් ගන්නේ නැහැ. මේ මහින්ද ජනතාව එක්ක විතරයි වැඩ. කවුරුත් එක්ක ඩීල් දාන්නේ නැහැ. මේ මැතිවරණය අපි ලබාගත්ත ජයග්‍රහණයක්. මේ මැතිවරණය ජයග්‍රහණය කර දෙන එක ඔබේ වගකීමක්.
රටක් නැවත කෑලිවලට කඩනවා නම් ප්‍රභාකරන්ට එක් පෑන් පාරකින් මේ රට ලබා දෙනවා නම්, අපි ඒක කරන්න ඉඩදෙන්නේ නැහැ.

මහාචාර්ය තිස්ස විතාරණ
මේ රටේ ඉදිරි ගමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ වාමාංශික බලවේග එදා එක්වුණාක් මෙන් මේ ආණ්ඩුව ගෙදර යැවීමට අපි නැවත එක්වෙලා තිබෙනවා. මේ රට නැවත යටත් විජිතයක් බවට පත් කරන්නයි මේ ආණ්ඩුව හදන්නේ. මේ රට බේරගන්නයි අද අපි එක්වුණේ.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ
අද මේ රට අඳුරෙන් අඳුරට යනවා. නැවත මේ රටට ආලෝකය ලබා දෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂට පමණයි. අනුරාධපුරයට ඇවිත් තිබෙන මේ ජන ගඟ දැක්කහම ඡන්දයක් තියන්නම වේවි ආණ්ඩුවට. තව මාස කිහිපයකින් යළි මේ රටේ මහින්ද රාජපක්ෂ යුගයක් අපි බිහි කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ
අපි ඊළඟ ඡන්දයේදී මේ ආණ්ඩුවට වැඩේ දෙනවා. මහින්ද මහත්තයා මේ රට එක තැනකට ගෙනාවා. නමුත් මේ ආණ්ඩුව මේ රටට උපරිම විපත කරල ඉවරයි. යුද්ධ කරලා බේරා ගත්ත රට නැවත පාවා දෙන්නයි හදන්නේ. දැන් වික්‍රමසිංහ හදනවා නීතියෙන් මේ රට බෙදල මේ රටට කරන්න පුළුවන් උපරිම පාවාදීම කරන්න.
මංගල ගෙනාපු අය - වැයෙන් කිසිම ජන බලවේගයකට සෙතක් නැහැ. බියර් බොන්න චාන්ස් එක දීල තිබෙනවා. මංගලටත් මුකුත් නැහැ. පුදුම විදියට බදු වැඩි කරලා. රුපියල් බිලියන 284කින් බදු වැඩි වෙලා තිබෙනවා. මේ රට නොපෙනෙන අගාධයකට පත් කරලා තිබෙන්නේ. මේ අන්තර්ජාතික බලවේගවලට අවශ්‍ය දෙයක්. ණය බර දැන් 64%කින් වැඩි වෙලා. ටි්‍රලියන 5.2යි එදා අපි ණය ගත්තේ. ටි්‍රලියන 4.7ක් ණය අරගෙන තිබෙනවා මේ ආණ්ඩුව. අද බදු ආදායම දෙගුණයකින් වැඩි වෙලා.

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම
අද ශ්‍රී ලංකාකාරයෝ ඔක්කොම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. වත්මන් ජනාධිපතිත් එක්ක ඉන්නේ පැරෂුට්කාරයෝ. උන් එහෙන් මෙහෙන් පැන්නවුන්. එස්.බී. හතරගාතෙන් දාලා මහින්ද මහත්තයා ගාවට එනවා ඊළඟ මැතිවරණයේදී. අපි එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහන්න ඒ පක්ෂයේ හතර මායිමේ යන්නේ නැහැ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස්
මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු ජනපති තේජස මේ වෙලාවේ අපිට මතක් වෙනවා. රටේ මිනිස්සුන්ට ඉලෙක්ටි්‍රක් කාර්වලින් වැඩක් නැහැ. පෙට්ටි කඩේක තිබෙන ආර්ථික කළමනාකාරිත්වයවත් අද මේ ආණ්ඩුවට නැහැ. අපි කිසිසේත් සන්ධාන ගත වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක මුක්කු ගහන පක්ෂයකට සම්බන්ධ වෙන්නේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත්‍රා වන්නිආරච්චි

රනිල් වික්‍රමසිංහ බැඳුම්කර සිද්ධියට විත්ති කූඩුවට නඟින්න දවස් 4ක් තියෙද්දී මේ තෙල් ප්‍රශ්නයට ඇති කළේ මේ ආණ්ඩුව. අද මේ ප්‍රශ්නය අමතක කරන්න ආණ්ඩුව විවිධ දේවල් රටේ ඇති කරනවා. අද ඇමැතිවරු කියනවා වැඩකරන කොට ඉහළින් බලපෑම් තියෙනවාලු. මොකක්ද එතකොට මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය. ජනාධිපති කියනවා ආණ්ඩුවේ ඉන්න අය තමන්ට විරුද්ධයි කියලා. මේක ආණ්ඩුවක්ද එතකොට.

පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන අයයි එක්සත් ජාතික පක්ෂයට බලයට එන්න සහයෝගය දුන්නේ. එක්සත් ජාතික පක්ෂය රට භාරගත්තාම ඇති වුණේ ප්‍රශ්න විතරයි. රට බෙදන්නයි ඔවුන් හදන්නේ. මේ ව්‍යවස්ථාව පරාජයට පත්කළ යුතුයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය කැප වෙනවා. මේ ආණ්ඩුවේ ගමන අපි නැවැත්විය යුතුයි. ඒ සඳහා අපි මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකට එක්වී තිබෙනවා. අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා ඊළඟ ඡන්දයේදී.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන
අපි එදා හැම මැතිවරණයක්ම තිබ්බා. රජරට රජාගේ තරම දැන් මේ රටට තේරෙනවා. ජයග්‍රහණයේ මූලික පියවරයි අද අනුරාධපුරයේදී තිබ්බේ. යහපාලන නායකයන් කරපු දෙයක් නැහැ. මහින්ද රාජපක්ෂයි මේ රටට නිදහස දුන්නේ. මේ රටේ සියලු සංවර්ධන වැඩ කළේ එතුමයි. රාජ්‍ය බලය නැති වුණත් මහින්ද මහත්තයයි මේ රටේ රජ්ජුරුවෝ.

පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර
මේ අය - වැයේ කිසිම රහක් නැහැ. බදු බරක් තමයි ජනතාවට පැටවිලා තිබෙන්නේ. මංගල සමරවීර දීලා තිබෙන්නේ පොඩි කාර් එකක් විතරයි ජනතාවට. හැබැයි බියර් ටින් එකනම් අඩු කරලා තිබෙනවා. මේ අය -වැයෙන් මේ රටේ සියලුම දේශීය සම්පත් විදේශීය බලයට යටකරන්නයි හදන්නේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්