ගල් අරක්කු, බියර්, කසිප්පු කතාවලින් මැති සබය රත්වේ

  👤  3467 readers have read this article !
By mawbima 2017-11-13

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

සාමාන්‍යයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නා ඔය ප්‍රදේශයෙන් හමා ගෙන එන සුළං සීතල වුවද මේ දිනවල එම ප්‍රදේශයෙන් හමාගෙන එන සුළං රැල්ල බොහෝ උණුසුම්ය. දියවන්නා ඔය මැද පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී බොහෝ උණුසුම් වාද විවාද මේ දිනවල අසන්නට ලැබෙන්නේ 2018 අය-වැය විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නිසාය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 වර්ෂය සඳහා "නීල හරිත අය-වැය එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා" යනුවෙන් ඉදිරිපත් කළේය. එදිනම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාද අය-වැය යෝජනාවල මිථ්‍යාව සහ යථාර්ථය යනුවෙන් ග්‍රන්ථයක් ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුවට එම ග්‍රන්ථය ඉදිරිපත් නොකළද බන්දුල ගුණවර්ධන මහතා එම ග්‍රන්ථය මංගල සමරවීර අමාත්‍යවරයාට ලබාදුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන චම්පික රණවක, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ටද එම පොත ලබාදුන් බන්දුල ගුණවර්ධන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටද එම පොත් ලබාදීමට කටයුතු කළේය.

"අය-වැය යෝජනා මිථ්‍යාව සහ යථාර්ථය" වශයෙන් රචනා කර තිබෙන මෙම පොතෙහි ගිය වසර සඳහා ඉදිරිපත් කරන ලද අය-වැය යෝජනා 493ක් පිළිබඳව සඳහනක් සිදු කර තිබෙන්නේ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණාද යන්න තර්කානුකූලව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමිනි.
පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදීන්ටද මෙම පොත බන්දුල ගුණවර්ධන මහතා ලබාදුන් අතර මංගලගේ "නීල හරිත එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා අය-වැය" එක් අතකද අනෙක් අතෙහි බන්දුලගේ "අයවැය" යෝජනා, මිත්‍යාව සහ යථාර්ථය" ග්‍රන්ථයද මාධ්‍යවේදීන් ළඟ තිබෙනු දක්නට ලැබිණි.

අය-වැය තේ පැන් සංග්‍රහය අතරතුර අය-වැය යෝජනා 'මිථ්‍යාව සහ යථාර්ථය' ග්‍රන්ථය දේශපාලනඥයන්ට භාරදුන් අතර ඔවුන් එම පොත පිළිගන්නේ ඉතාමත් සුහදශීලීභාවය බන්දුල ගුණවර්ධන මහතාට පළ කරමිනි.
පොත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ පසුගිය බජට් එක ගැන මෙවැනි සාරාංශයක් ඉදිරිපත් කිරීම හොඳ ප්‍රයත්නයක් බවයි.

"මේ අපේ බන්දුලගේ පොතක්නේ" යනුවෙන් වජිර අබේවර්ධන අමාත්‍යවරයාද බන්දුල ගුණවර්ධන මහතාට සුබ පැතුවේය.
"මීට ඉස්සර වෙලත් ඉදිරිපත් කරපු බජට්වලත් අය-වැය යෝජනා තිබෙන ආකාරයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා" යනුවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන මහතාට පැවැසීය.

"ඒ වුණාට මංගල ඇමැතිතුමා පහුගිය අය-වැයෙන් රුපියල් බිලියන 792ක් බොරු කරලා තියෙනවා. එහෙම බොරු කරපු අය-වැයක් අපේ රටේ ඉතිහාසයේ කවදාවත් ඉදිරිපත් කරලා නැහැ. ඒකයි මං මේ ගැන පොතක් ගැහුවේ" යනුවෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් පසුගිය සිකුරාදා ප්‍රෙෂර් වැඩිවීම නිසා අසනීප විය.
මෙසේ අසනීප වූයේ එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මියයි. එදින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට දෙවරක් පැමිණ ප්‍රතිකාර ලබාගත් එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය ඉන් පසුව පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගොස් රෝහල්ගත වී ඇති බව දැන ගන්නට ඇත.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකට පාර්ලිමේන්තු සංකීර්ණයේ ආලින්දයේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මුණගැසුණේය.

නාමල් රාජපක්ෂ, රංජිත් ද සොයිසා, කාංචන විජේසේකර, රොෂාන් රණසිංහ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් මෙසේ අනුර කුමාර දිසානායක මහතාව මුණගැසී තිබුණු අතර සුහද ලෙස කතාබස් කිරීමෙන් අනතුරුව ඔවුහු විදුලි සෝපානයකට (ලිෆ්ට් එකට) ගොඩවූහ.
"නාමල් මන්ත්‍රිතුමා දැන් බයිසිකලුත් පදිනවා නේද?" යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා විමසුවේය.

"ඔව් අනුර අයියා" ලැම්බෝගිනි පැදපු මට බයිසිකල් මොකක්ද?" යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසුණහ.
2018 අය-වැය විවාදයේ දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කෙරුණේ පසුගිය සිකුරාදාය. සෑම දේශපාලන පක්ෂයකම ආර්ථික විද්‍යාව ගැන වැඩි උනන්දුවක් දක්වන කථිකයන් එදින විවාදයට සහභාගි වූ නිසා මැති සබය බොහෝසෙයින්ම උණුසුම් මෙන්ම රසවත් විය.

ආණ්ඩු පක්ෂයේ කථිකයන් අය-වැය ගැන ගුණ ගායනා කරද්දී විපක්ෂයේ කථිකයන් දිගට හරහට සිදු කරන ලද්දේ ඊට හොඳහැටි දෙහි කැපීමය.
මංගලගේ මංගල අය-වැයෙන් රටම අවමංගල්‍යයක් කළ බව විවාදයට එක් වෙමින් අය-වැයට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතාය.
"ජාතිය ගොඩනැඟීමේ බද්ද ගේනකොටත් කිව්වේ ඔහොම තමයි. රටේ පොදු ජනතාවගේ බදු බර වැඩි කරලා. මේ අය-වැයට අපි විරුද්ධයි" යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

රට විනාශ වෙනවාට තම පක්ෂය දැඩි ලෙස විරුද්ධ වන බවද සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
"ඔබතුමාලාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි රටවල් හුඟක් අවමංගල්‍යයට ගියේ. ළිං ගෙම්බෝ වගේ ඉඳලා වැඩක් නැහැ. මේ රට විනාශ කරන්න දෙන්න බැහැ" මංගල සමරවීර අමාත්‍යවරයා තරමක් උස් හ¾ඩින් ප්‍රකාශ කළේය.

"ඔබතුමාලා කිසිම ප්‍රකාශයක් සිදු කරලා නැහැ. ඔබතුමන්ලා රට සුපිරි කරලා තියෙන්නේ. ඒක නිසා තෙල් නැවක් එනතුරු රටේ ජනතාවට බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. ලැජ්ජවෙන්න ඕන ආණ්ඩුවක් මේක. ඒ මදිවට සීනි බද්ද කියලා පැණි බීමවලට බදු ගහන ගමන් බියර්වල බදු ඉවත් කරලා" යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.
"කොළඹ විශ්වවිද්‍යාලය කරන ලද පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා, 49%ක් බොන්නේ කසිප්පු කියලා. දියුණු රටවල් නම් 84%ක් බොන්නේ බියර්. සීනි පුරවපු පැණිරස බීම එකකට වඩා බියර් බොන එක ගුණයි" මංගල සමරවීර අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසීය.
"සීනි අප්සට් නිසා බදු ගහනවා. බියර්වලට සීනි දැම්මට කමක් නැහැ. මරු. නීල හරිත ආර්ථිකය නීලකාස හොරුන් එක්ක හදන්න බැහැ" යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

මත්පැන්, කසිප්පු, බියර් කතාවලින් මැතිසබය රත්වූ අවස්ථාවේදී තවත් එක් කැබිනට් අමාත්‍යවරයකු ප්‍රකාශ කරන ලද්දේ ගල් අරක්කු මිල රුපියල් 700 දක්වා අඩුවිය යුතු බවයි.
වෙහෙස මහන්සි වී වැඩකරන මිනිස්සුන්ට සවස් කාලයේදී ඇඟේ පතේ අමාරුව පොඩ්ඩක් නැති කර ගැනීම සඳහා ගල් අරක්කු බෝතලයක මිල අඩු කළාට ගැටලුවක් නොවන බව ප්‍රකාශ කළේ වැඩකරන ජනතාව වෙනුනේ පෙනී ඉන්න විෂයභාර අමාත්‍යවරයා වීම විශේෂත්වයකි. ඒ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාය.

"මධ්‍යම පාන්තිකයින් බියර් බොන්නේ ජොලියට. ජොලියට බියර් බොනවාට වඩා ගල් අරක්කු මිල අඩු කිරීම හොඳයි. මේ රටේ ඇඟපත වෙහෙසලා වැඩ කරන සමහර මිනිස්සු ඇඟේ පතේ අමාරුවට දැන් බොන්නේ කසිප්පු. ගල් අරක්කු කියලා ජාතියක් තිබුණා. ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 1500ක් වෙනවා. බියර් මිල අඩු කරනවා වෙනුවට ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 750ක් රුපියල් 700ක් දක්වා අඩු කළොත් හොඳයි" යනුවෙන් ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ආචාර්ය හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් කියා සිටියේ හඳට ගිය නීල් ආම්ස්ට්‍රෝං කළ ප්‍රකාශයක් පිළිබඳවයි.

"මංගල සමරවීර ඇමැතිතුමා මාතර නිසා වෙන්න ඇති, එන්ටප්‍රයිසස් අය _ වැයට ගෙනල්ලා තියෙන්නේ. මට දවසක් ඇමැතිතුමා කිව්වා, නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය වෙලාවේදී ආම්ස්ට්‍රෝං දැක්කාලු මාතර කඩයක් හඳේ. එහෙම එන්ටප්‍රයිසස් ඉතිහාසයක් තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව" යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සිනහ සෙමින්ය.

රුපියල් 5000 නෝට්ටුවක් අතින් ගෙන එය මැතිසබයට පෙන්වමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා විවාදයට එක්වීම නිසා මැතිසබය තවත් උණුසුම්කාරී විය.
"මේ රුපියල් 5000 නෝට්ටුව වලංගු වෙන්නේ නැහැ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් අස්සන තියෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ. මේක පිළිගන්න බැහැ" බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ කතාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාට තරමක් කේන්ති ගියේය.
"එහෙම නීති විරෝධී වෙන්නේ නැහැ. ඒ අස්සන තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිගේ. එම අස්සන වලංගුයි" යනුවෙන් ඉරාන් වික්‍රමරත්න මහතා තරමක් උස් හ¾ඩින් ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර කොමිසම පත්කළාට ආණ්ඩුවේම පිරිසක් තමන්ට පහර දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා" යනුවෙන් ප්‍රකාශ කරමින් බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයාගේ කතාව උපුටා දක්වමින් පුවත්පත් වාර්තාවක් සභාවට කියවීය.
මේ අවස්ථාවේදී සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් පිරිසක් ඊට ප්‍රතිචාර දැක්වීම නිසා මැතිසබයේ ඇතිවූයේ උණුසුම්කාරී මෙන්ම ඝෝෂාකාරී තත්ත්වයකි.

"අන්න ෆුට් නෝට් කට්ටිය කෑගහනවා. ජනාධිපතිතුමා කියපු සුළු පිරිසට අයිති වෙන්න එපා. ඔහොම හිටගෙන කෑගහන කට්ටිය ගැනත් ජනාධිපතිතුමා දැනගනීවි" යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

"ඔබතුමා ඔය රුපියල් 5000 නෝට්ටුවෙන් ගනුදෙනු කළාද? පිළිගන්නේ නැතිනම් ගනුදෙනු කළේ කොහොමද?" සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා විසින් විමසන ලදී.
"මං හම්බවුණු එපාට්මන්ට් ගැන ඇහුවේ නැහැ. ජනාධිපතිතුමාට එරෙහිව ක්‍රියාත්මක කරන මඩ මෙහෙයුම ගැන ඇහුවේ නැහැ" යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්