බලය බෙදීමෙන් සිදුවන්නේ නැති ප්‍රශ්නයකට විසඳුම් දීමක්

  👤  3408 readers have read this article !
By mawbima 2017-11-13

ඔබ නියෝජනය කරන ශ්‍රී ලංකා ගෝලීය සංසදය ගැන මුලින්ම දැනගන්න කැමැතියි?

ශ්‍රී ලංකා ගෝලීය සංසදය නිශ්චිත වශයෙන් බිහි වෙන්නේ 2016දී. හැබැයි ගෝලීය සංසදය කියන එක අලුත් එකක් නොවෙයි. මෙතැනදී සිදු වෙන්නෙ එංගලන්තය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැදපෙරදිග, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල අවුරුදු ගණනාවක් තිස්සේ සේවය කරන ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉන්නවා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය පැකේජය ගෙන එන කාලයේ ඉඳන් රණවිරුවන්ට උදවු කරපු, ඒකීය රටක් තියෙන්න ඕන කියලා විශ්වාස කරපු විදේශගත දේශප්‍රේමීන් ඉන්නවා. එලෙස වෙන වෙනම වැඩ කළ සියලු දෙනා සිංහල ජාත්‍යන්තර ප්‍රජාවක් හැටියට එකතුවීම තමයි ගෝලීය ශ්‍රී ලංකා සංසදය කියලා කියන්නෙ.

ඇයි ගෝලීය සංසදය කෙටුම්පත් නොකරන ලද ව්‍යවස්ථාවක් ගැන කියමින් විරෝධය පළකරන්නේ?

කෙටුම්පතක් නැද්ද කියන කාරණය හොඳ ප්‍රශ්නයක්. බබෙක් හම්බවෙන්න ඕනෑම නැහැ බබෙක් ඉන්නවා කියන්න. ස්කෑන් පරීක්ෂණයකින් ඒක දැන ගන්න පුළුවන්. 2016 මාර්තු 16 රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලියක් යෝජනා කළා. ව්‍යවස්ථා ක්‍රියාවලිය පියවරෙන් පියවර ඇවිත් තිබෙන්නේ අවසන් අදියරට පෙර අදියරටයි. ඒ කියන්නේ මෙහෙයුම් කමිටුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ ඉදිරිපත් කරන අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි පාර්ලිමේන්තුවට කෙටුම්පතක් විදියට ඉදිරිපත් කිරීම. එතකොට මෙතැන ව්‍යවස්ථාවක් නැහැයි කියන්න බැහැ. ව්‍යවස්ථාව කියන්නේ එක පාරට ඕපපාතිකව මතුවන දෙයක් නොවෙයි. ක්‍රියාවලියක කොටසක්.

ව්‍යවස්ථාවක් සකස් කරන්න ජන වරමක් නැහැ කියන චෝදනාවත් ව්‍යවස්ථා විරෝධීන්ගෙ තර්කයක්ද?

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාව නමැති උල්පතින් ගලාගෙන ආපු පරමාධිපත්‍යටයි. ඒක ලෝකයම පිළිගත් මූලධර්මයක්. 70ත් 77ත් ජනවරමක් තිබුණා. එහි 3 වැනි වගන්තියේ ශ්‍රී ලංකා රජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය කියලා තියෙනවා. එහෙම වරමක් නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න බැහැ.

ඒ ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන බහුතරයක් නේද අද ව්‍යවස්ථාව හදන්නෙ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හරි, අලුතින් එකක් ගේන්න හරි හිතෙන දේශපාලන කණ්ඩායම මැතිවරණය ඉස්සරහට ගිහින් කියන්න ඕන මෙන්න මේ ව්‍යවස්ථා යෝජනාවලිය, මේ මූලධර්මය ස්ථාපිත කරන්න වරම දෙන්න කියලා එහෙම වරමක් ඉල්ලුවෙ නැහැ.

ඒත් එ.ජා.ප.ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන බව ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කළා?

ඒක දැඩිව අවධානයට ගත යුතු කරුණක්. මෛත්‍රි - රනිල් කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනවරමක් ඉල්ලපු අවස්ථා දෙකක් තියෙනවා. ජනවාරි 8 ජනාධිපතිවරණයට ආව මෛත්‍රිපාල මහත්තයා ජනවරමකට තුඩු නොදෙන්නා වූ ව්‍යවස්ථා සංශෝධනයකට යන්න ලෑස්තිය කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය භාවය පිළිබඳ වගන්තියත් එවැනි එකක්. මේ රටේ බහුතර ජනතාව ඒකීයභාවය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වන බව පොළොන්නරුවෙන් පැමිණි පුද්ගලයකු ලෙසත් දීර්ඝ කාලයක් ශ්‍රී .ල.නි.ප.ය තුළ සිටි අයකු ලෙසත් එතුමා දන්නවා. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට නොයෑම එතුමාගේ හෘදය සාක්ෂියේ තියෙන දෙයක්. අනික ව්‍යවස්ථා සංශෝධනයකට වරමක් ඉල්ලීමට ජනාධිපතිවරණය කියන්නේ සුදුසු අවස්ථාවකුත් නොවෙයි. ඒක වෙන්න ඕන මහ මැතිවරණයකදීයි. ව්‍යවස්ථා සංශෝධනයකට 2/3ක් තියෙන්න ඕන කියන්නේ පුළුල් එකඟතාවක් තිබිය යුතුය කියන කාරණාවටයි. එම පුළුල් එකඟතාව නිර්මාණය වෙන්න ඕන මහ මැතිවරණයකදීයි.

පක්ෂ දෙකක පුළුල් එකතුව ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුවේ පිළිගෙන තිබෙනවා. ඒක වැරැදිය කියන්නේ ඇයි?

පසුගිය මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය තරග කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්. "අලුතින් පටන් ගමු - රටට පණ දෙමු" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සඳහන් කරලා නැහැ. ඒ මැතිවරණයට මෛත්‍රිපාල මහත්තයා සම්බන්ධ වුණේ නැහැ. ඒත් ජනාධිපතිතුමා ඉල්ලා නොසිටි ජනවරම තමයි ඔහු එජාප සමඟ ආණ්ඩුව හැදීමට යොදා ගන්නෙ. විධායක ජනාධිපති බලය මඟින් මංකොල්ලකාපු ජාතික ලැයිස්තුවකින් පත්කරගත් මන්ත්‍රිවරුන් පිරිසක් එකතු කරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න බැහැ. ඒකට වරමක් සිරිසේන ජනාධිපතිවරයාට නැහැ. 2015 මහ මැතිවරණයේදී හන්දියක පෝස්ටර්යක් ගැසූ පුද්ගයකුට තිබෙන අයිතියවත් සිරිසේන ජනාධිපතිට නැහැ.

ඇයි මේ තත්ත්වය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් නොවන්නේ?

මේ පක්ෂ දෙක එකතුවීම කොහොමද සිදු වුණේ කියන කාරණය සම්බන්ධව සරත් වීරසේකර මහත්තයා නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළා. මේ සභාග ආණ්ඩුව හදලා තියෙන්නෙ එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප.යයි. නමුත් 2015 අගෝස්තු මැතිවරණයේදී ශ්‍රී .ල.නි.ප.ය පක්ෂයක් නොවෙයි. ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ පක්ෂ නොවන බව කතානායකවරයා කියනවා. අනිත් පැත්තෙන් ශ්‍රී ල.නි.ප. පක්ෂයක් කියලා පිළිගන්නවා. නීතිය ඉදිරියට මේක ගියාම පාර්ලිමේන්තුව අභ්‍යන්තර කටයුත්තක් කියලා මඟ හැරෙනවා. ඒත් පැහැදිලි ලෙසම දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ලකෑමක්.

දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තිබෙන බවට ඒ පාර්ශ්වවලින් නැඟෙන මැසිවිල්ලක්. එවැනි පසුබිමක නව ව්‍යවස්ථාවක් සකසා හෝ සාධාරණය ඉටු කිරීම අසාධාරණද?

අපි දිගින් දිගටම විසඳුම් දීගෙන ඇවිත් තිබෙනවානෙ. දිස්ත්‍රික් සභා, සංවර්ධන සභා, පළාත් සභා දුන්නා. ඒත් තෘප්තිමත් නොවන මානසික ආසාවකිනුයි ඔවුන් ඉන්නෙ. ඔබ අහපු ප්‍රශ්නය, දෙමළ ජනතාවට තිබෙන සැබෑ ප්‍රශ්නය මොකක්ද කියලා අපි ජාතික සංවිධාන විදියට ජනාධිපතිතුමාගෙන් ඇහුවා. ඒ මිනිස්සුන්ගෙ මුහුණෙ සිනහවක්, සතුටක් නැහැ කියලයි එතුමා කියන්නෙ. සංවර්ධන කටයුතු අනෙක් ප්‍රදේශවලට වගේ දුන්නත් වෙනම රටක් නමැති සඟවාගෙන සිටින අභිලාෂය නිසා ඔවුන් තෘප්ත වෙන්නෙ නැහැ. ඒ නිසාම බලය බෙදීමෙන් සිදු වෙන්නෙ නැති ප්‍රශ්නයකට විසඳුමක් ලබා දීම පමණයි.

ලෝකයේ ෆෙඩරල් රාජ්‍යය බොහොමයක් තිබෙනවා. ඒත් ඒවා තනි රටක් ලෙස පවතිනවා. ඇයි ශ්‍රී ලංකාවට ඒක අදාළ කරගන්න බැරි වී තිබෙන්නෙ.
ඇමෙරිකාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව ආදී රටවල් හැදුණේ වෙන වෙනම තිබූ ප්‍රාන්ත එකතුවීමෙනුයි. බාහිරින් ආපු තර්ජනයන්ට ශක්තිමත් ලෙස එකතු වෙලා මුහුණ දෙන්න තමයි එකතු වුණේ. හැබැයි අපේ තියෙන ප්‍රශ්නය එහෙම නොවෙයි. අපි එකට ඉන්නෙ. එතකොට ෆෙඩරල් ක්‍රමය නිසා බෙදුම්වාදී පැහැදිලි ප්‍රමුඛතාවක් අපට පේන්න තියෙනවා. වෙන් වෙලා ඉන්න අය එකතු වීම හොඳයි. ඒත් එකතු වෙලා ඉන්න අය වෙන් කරන්න අවශ්‍යතාවක් නැහැ. උතුර, නැඟෙනහිර ආවෙ 1833දීයි. ඓතිහාසික වශයෙන්වත් එහෙම එකක් නැහැ. දෙමළ ජනගහයෙන් වුණත් බහුතරය උතුරෙන් බැහැරවයි ජීවත් වෙන්නෙ. එහෙම තියෙද්දී බෙදී වෙන් වෙන්න ඕන කියන්න තරම් වෙනම ප්‍රශ්නයක් ඔවුන්ට නැහැ.

රටේ ඒකීය බවට, බුදු දහමට හානියක් වෙන්න ඉඩ නොදෙන බව ජනපතිත්, අගමැතිත් නිතර කියනවා. ඇයි ඒවා අවිශ්වාස කරන්නේ?

අපි බලන්නෙ මේ පේන මුහුණත් තහඩුව හෝ ලේබල නොවෙයි. 1987 13 වැනි සංශෝධනය ගෙනා ආ වේලාවෙ සර්වානන්ද විනිශ්චයකාරතුමා ඒකීය බවට හානියක් නොවන බවට තීන්දුව දුන්නේ එකම එක කාරණයක් මතයි. විධායක ජනාධිපතිට තිබෙන බලතල ආණ්ඩුකාරවරයා හරහා ක්‍රියාත්මක වීම තුළ ප්‍රාන්තවලට වෙන් වෙන්න අවකාශයක් නැහැ කියලයි. ඒ නිසා ඒකීය බව ආරක්ෂා වෙනවා කිව්වා. දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළතත් ෆෙඩරල්වාදී ලක්ෂණ තියෙනවා කියලා අපි හැමෝම පිළිගන්නවා. විධායක ජනාධිපතිට පළාත් සභා විසුරවන්න තියෙන බලතල හා සමගාමී ලැයිස්තුව නිසා තමයි ඒකීය බව ආරක්ෂා වෙලා තියෙන්නෙ. ඒත් මේ අතුරු කමිටු වාර්තාව මඟින් පළාතේ මහ ඇමැති පත් කරන ආණ්ඩුකාරවරයකු යෝජනා කරනවා. එතකොට ජනාධිපතිට තිබෙන බලතල මොකක්ද රටේ ඒකීය බව ආරක්ෂා කර ගන්න. දැනටමත් 19 වැනි සංශෝධනය එන්.ජී.ඕ. කාරන්නගෙ බලපෑම් මත සිදු කරමින් ඇතැම් විධායක බලතල කප්පාදු වෙලා. ඊළඟට සමගාමී ලැයිස්තුව අයින් කරගන්නත් යෝජනා කරලා තියෙනවා. තමන්ගේ විෂය පථය තුළ තමන්ට ස්වාධීනව ක්‍රියා කරන්න පුළුවන් එකිනෙකට සමගාමී ආයතන දෙකක් තියෙන තැනක් ෆෙඩරල් ක්‍රමයක් ලෙස හඳුන්වන බවයි ෆෙඩරල් ක්‍රමය පිළිබඳ හොඳම නිර්වචනය දී තිබෙන මහාචාර්ය කේ.සී. වියර් ප්‍රකාශ කොට තිබෙන්නේ. සමගාමී ලැයිස්තුව නිසා මධ්‍යම ආණ්ඩුවට පළාත් සභාවේ ඇතැම් කටයුතුවලට මැදිහත් වෙන්න පුළුවන්. ඒත් ඒක අහෝසි කළාම මේ ආයතන දෙක ස්වායත්්ත ආයතන බවට පත් වෙනවා. කළ හැකි සියල්ල පළාත් සභාවට දුන්නම මධ්‍යම ආණ්ඩුවක් කුමකටද? ඒකීය කියන වචනය ලේබලයක් ලෙස අලවා වැඩක් නැත්තෙ ඒකයි.

නව ව්‍යවස්ථාවකට අදහස් ලබා ගනිද්දී නිහඬව සිට දැන් ජාතිවාදය ඇවිස්සීමට කට අරිමින් ඇති බවට ජාතික සංවිධාන චෝදනාවට ලක්වෙනවා?

අපි ගෝලීය ශ්‍රී ලංකා සංසදය විදියට අදහස් දුන්නා. ඒ අදහස් ලාල් විජේනායක කමිටුව කොහේද සැලකිල්ලට අරන් තිබෙන්නෙ? එහෙම එකක් වෙලා නැහැ. මෙය එකඟතාවක් ලෙස නොව සාකච්ඡා කරන ලද කරුණු ලෙස ඇතුළු කරන්න කියලා ශ්‍රී ල.නි.ප.ය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා අතුරු කමිටු වාර්තාවේ කියා තිබෙනවා. ඒ අය මේ කරුණුවලට එකඟවෙලා නැහැ. අපි කරුණු ඉදිරිපත් කළා කියලා මේ වාර්තාවට ඇතුළත් කරන්නෙ නැහැ. ඒගොල්ලො ආවෙම ෆෙඩරල්වාදී ව්‍යවස්ථාවක් හදන්නමයි. ඒකට පටහැනි වන කිසිම අදහසක් ඒගොල්ලො සලකා බලන්නෙ නැහැ. ඒනිසා ඔය කරන චෝදනාව ඒ අයගෙ සෙප්පඩවිජ්ජාවක් පමණයි.

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී කෙටුම්පත් වුණත්, ඒක ශේ‍ර්ෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ හැකි පසුබිමක තිබෙනවා. ඒත් ඇයි දැන් සිටම විරුද්ධ වෙන්නෙ?
ශේ්‍රෂ්ඨාධිකරණයට යන්න තියෙන අවස්ථාවක් මෙහි නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය එකිනෙකට පටහැනියි.

ව්‍යවස්ථාව පිටුපස ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර බලවේග සිටින බව කියන කතාව පිළිගන්නවාද?


මේ ආණ්ඩුවට 2015 ජනවාරි 8 වරම දුන්නේ ජනතාව නොවෙයි. බටහිර බලවේග සහ ඉන්දියාවයි, මේ අයගේ ප්‍රතිපාලනය "මෛත්‍රි පාලනයක්" නොවෙයි 2015 මාර්තු ජිනීවාවලට ඉදිරිපත් කළ 30:1 යෝජනාවලියයි. බලය බෙදීම, අධීක්ෂණය ලිහිල් කිරීම, හමුදා බලය උතුර - නැඟෙනහිරින් ඉවත් කිරීම, රණවිරුවො මර්දනය කිරීම, ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එම යෝජනා අනුවයි.

මෙවැනි විසඳුමක් එපා නම් විකල්ප යෝජනා දෙන්න කියලා ආණ්ඩුව කියද්දී ඇයි නිහඬ?

විකල්ප යෝජනා දෙන්න ප්‍රශ්නය හඳුනාගත යුතුයි. එහෙම නැතිව විකල්ප දෙන්න බැහැ. මේ දක්වා ඉදිරිපත් කොට තිබූ පළාත් සභා ආදී විසඳුම් ඇයි ප්‍රමාණවත් නොවුණෙ? හැබැයි ජනාධිපතිතුමාගෙ සර්ව පාක්ෂික සමුළු කැ¼දවීම හොඳයි. ඒත් ඒක කරගෙන යද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා වත්මන් ව්‍යවස්ථා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා නම් නෙවෙයි. ඒ යටින් ගහන ගේම් එක නවත්වන්න ඕන.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්