විමර්ශන සඳහා විධිමත් තොරතුරු ලබාදෙන ලෙසට නාවික හමුදාපතිට අධිකරණයෙන් නියෝග

  👤  2269 readers have read this article !
By mawbima 2017-10-24

අමිල අබේරත්න

2008 වසරේ අගෝස්තු, සැප්තැම්බර් අතර කාලය තුළ දෙමළ, මුස්ලිම්, සිංහල තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා විධිමත්ව තොරතුරු ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පසුගියදා (22දා) නාවික හමුදාපතිවරයා වෙත නියෝගයක් නිකුත් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට සම්බන්ධව ප්‍රධාන සැකකරුවන් වන නාවික හමුදාවේ බුද්ධි අංශයේ ලුතිනන් කමාන්ඩර්වරයකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, ලුතිනන් කමාන්ඩර්වරුන් වශයෙන් සේවය කළ පේලිගේ සුමිත් රණසිංහ. නිලන්ත සම්පත් මුණසිංහ යන අයගේ සහ ඔවුන් යටතේ සේවය කළ බුද්ධි අංශ සෙබළුන්ගේ තොරතුරු නාවික හමුදාවෙන් ඉල්ලා සිටි බව හා ඔවුන් විසින් ලබාදී ඇත්තේ ඔවුන් යටතේ සේවය නොකළ නිලධාරීන්ගේ තොරතුරු බවය.
ඒ බව වත්මන් නාවික හමුදාපතිවරයාට දන්වා යැවූ බවද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
නාවික හමුදාව විමර්ශනවලට සහාය නොදීම මත විමර්ශන කල්ගොසින් තිබෙන බවද, එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
තරුණයන් 11 දෙනා සිද්ධියට සම්බන්ධ නාවික හමුදා නිලධාරීන් විසින් රඳවා තබාගෙන ඇත්තේ ත්‍රස්තවාදී හා නාවික හමුදා ආඥා පනත් ඇතුළු නාවික හමුදා නීතිය උල්ලංඝනය කරමින් බවද අපරාධ පරීක්ෂණ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේය.

පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති තරුණයන් කිසි ලෙසකින් ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය නොවූ බවද, කප්පම් ගැනීම සඳහා තරුණයන් 11 දෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවද එම නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

කෘෘර ලෙස වධ හිංසා පමුණුවමින් මානව හිමිකම් උල්ලංඝනය වන පරිදි එම තරුණයන් 11 දෙනාව කොළඹ චෛත්‍ය පාරේ පිහිටි "පිට්ටු බම්බුව" නමැති ස්ථානයේ සහ ත්‍රිකුණාමලයේ නාවික හමුදා සාගර හා නාවික ක¼දවුරු පරිශ්‍රයේ පිහිටි නීති විරෝධී "ගන්සයිඩ්" නමැති භූගත කඳවුරේ රඳවාගෙන තිබුණු බවට කරුණු අනාවරණය වී ඇති බවද සැකකාර නිලධාරීන් යටතේ සේවය කළ බුද්ධි අංශ සෙබළුන්ගේ ප්‍රකාශ මත එය තහවුරු වූ බවද අපරාධ පරීක්ෂණ නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.
මේ වනවිට හමුදාවෙන් පලාගොස් සිටින සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරිය විවෘත වරෙන්තුවක් නිකුත් කළාය. සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී. දසනායක යන අය වැලිසර නාවික හමුදා රෝහලේ රඳවා තබාගෙන ප්‍රතිකාර ලබා දෙන්නේ කුමන හේතුවක් නිසාද එසේම ඔහුට බන්ධනාගාර රෝහලේ රඳවා තබාගෙන ප්‍රතිකාර ලබාදිය නොහැකිද යන්න පිළිබඳව වාර්තාවක් එවන ලෙසට බන්ධනාගාර රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝගයක්ද නිකුත් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කමාන්ඩර්වරයකු වශයෙන් කටයුතු කළ පේලිගේ සුමිත් රණසිංහ, බළනැවියකු වශයෙන් සේවය කළ ලක්ෂ්මන් උදය කුමාර, නාවික හමුදා බුද්ධි අංශ සෙබළුන් වශයෙන් සේවය කළ නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළ ගෙදර ධර්මදාස, කම්කානම් පතිරන්නැහෙලාගේ කිත්සිරි යන අය චෝදනා ලැබ සිටිති.

නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු වූ නිලන්ත සම්පත් මුණසිංහ නමැත්තා පමණක් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට අධිකරණය මඟින් ඇප ලබා සිටියි.
නිලන්ත සම්පත් මුණසිංහ නමැත්තා හැර සියලු දෙනා ලබන මස 1 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින අතර ලබන මස 1 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්