හිටපු ඇමැති විමල් වීරවංශ හා හිටපු නි. සාමාන්‍යාධිකාරිට අදාළ විමර්ශනවල උද්ධෘත නීතිපතිට

  👤  2286 readers have read this article !
By mawbima 2017-10-24

අමිල අබේරත්න

රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට කුලී පදනම මත ලබාගත් වාහන 40ක් අවභාවිත කිරීමෙන් රජයට නවකෝටි දහසය ලක්ෂ තිස්පන්දහසකට අධික මුදලක් පාඩු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ, ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නැදිගේ යන මහත්වරුන්ට අදාළ විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23දා) දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් තවම නීතිපති උපදෙස් ලැබී නොමැති බවද මාසයක් ඇතුළත සිද්ධියට අදාළ සියලුම විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යැවිය හැකි බවද මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් අධිකරණයට දන්වා සිටි අතර සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා යටතේ සේවය කළ මාධ්‍ය ලේකම්වරයකු පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විමර්ශන සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් නිකුත් කළ අතර ජනවාරි 29 වැනිදා නඩුව යළි කැඳවීමට තීරණය කළාය.
ඒ අනුව ජනවාරි 29 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්