මේ හොරුන්ට වඩා හිටපු හොරු හොඳයි

  👤  2311 readers have read this article !
By mawbima 2017-10-24

ඉදිරි ජනාධිපතිවරණයත් සමඟ තමන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත අනුමත කළ නොහැකි බවත් ඉදිරි ජනාධිපතිවරණය අතිශය අර්බුද සහගත විය හැකි බවත් ඉකුත්දා (23දා) ගැටඹේ රාජෝපවනාරාමයේදී එහි විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුවිජ්ජක පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් බැහැ දැක උන්වහන්සේ හමුවේ ඒ මහතා කීවේය.
ආණ්ඩුව බලයට පත්වන විට ලබා දුන් පොරොන්දු ඉටුකළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති අවස්ථාවක ඉදිරි මැතිවරණ හමුවේ විශ්වාස කළ යුත්තේ කුමන පක්ෂයද යන්න ජනතාවට දැඩි ගැටලු සහගත විය හැකි යැයි ඒ මහතා කීවේය.

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධ ගැටලුව, වෘත්තීය සංගම් ඉල්ලීම් ආදිය ඉතා පහසුවෙන් විසඳිය හැකි කරුණු වන නමුත් එය රට තුළ මහා ආන්දෝලනයක් වූ අවස්ථාවේදී ආණ්ඩුව යම් විසඳුමක් ලබාදෙන බවත් ඒ වනවිට අදාළ පාර්ශ්ව ආණ්ඩුව කෙරෙහි මහත් කලකිරීමට පත්වන බව කී තිස්ස අත්තනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථාව හා ජනාධිපතිවරයාගේ විධායක බලතල සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගැටලු සහගතයි. මේ නිසා ජනතාවට ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ දිනපතා කරන පරීක්ෂණවලින් හෙළිවන්නේ ඉතා විශාල වංචාවක් සිදුව ඇති බවයි.
මම තවමත් එක්සත් ජාතික පක්ෂයේ හොඳ පාක්ෂිකයෙක්. ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා දැඩි කලකිරීමට පත්ව සිටින්නේ වෙන කවුරුත් නොව එක්සත් ජාතික පාක්ෂිකයන්. මේ නිසා තවත් කල් නොදමා ජනතාවට සේවය කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි.
මැතිවරණයේදී ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම විශේෂයි. එතුමාට දේශපාලනයකින් තොරව ඡන්ද ලබා දුන්නා. නමුත් එක්සත් ජාතික පක්ෂයට එවිට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ යැයි මහ ලේකම්වරයා නායක හිමියන් හමුවේ කීය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් අදහස් දක්වමින්
මේ හොරුන්ට වඩා හිටපු හොරුන් හොඳ යැයි සිතෙනවා. මේ වනවිට රටට උදාවී තිබෙන්නේ මහත් අභාග්‍යයක්. මහ බැංකුවේ බරපතළ වංචා සිදුව තිබෙනවා. පනත් සම්මත කිරීමද ගැටලු සහිතයි. රටට අහිතකර පනතක් සම්මත කර ගැනීමේදී පාර්ලිමේන්තුව තුළ යම් කලබලයක් ඇති කර ඒ අවස්ථාවේදී පනත සම්මත කර ගන්නවා.
ජනතාව ජනාධිපතිවරයාට බලය ලබා දුන්නේ බලය බෙදන්න නොවෙයි. ජනතාවට සේවය කරන්න. එතුමා වේදිකාවේ කතා කරන විට අනිත් අය කරලා ඉවරයි. එයින් සිදුවන්නේ රටට මහත් විපත්තියක්.

මහනුවර - නදීක දයා බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්