රටේ සෙසු පළාත්වලට සාපේක්‍ෂව උතුරු හා නැඟෙනහිර පළාත් දුප්පත්

  👤  2269 readers have read this article !
By mawbima 2017-10-24

මහා නාහිමිවරුන් දෙනම මේ වනවිට විදේශ ගතවී සිටිනවා. උන්වහන්සේලා මෙරටට වැඩම කළ පසු සංඝ සභා දෙක සමඟ සාකච්ඡා කර නව ව්‍යවස්ථාව පිළිබඳව අප අපේ පොදු අදහස් කියනවා යැයි අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සි මහා නිහිමියෝ පැවැසූහ.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21දා) පාතදුම්බර පිටියේගෙදර රජමහා විහාරයේ විහාර මන්දිරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අනු නාහිමියෝ මෙසේද පැවැසූහ.

කතා කරන්න මෙන්ම කෑමටත් සිංහලයා දක්ෂයි. නමුත් යම් වැඩක් කරන්න ගියාම ආදි සිංහලයන් උත්සුක වී වැඩ කළාට වර්තමාන සිංහලයන් ටිකක් පසුබාලා තිබෙනවා. වර්තමානයේ කතාවට දක්ෂ වුණත් ක්‍රියාවෙන් මන්දෝත්සාහී වී තිබෙනවා. ඒ නිසා අප එය නැති කරගත යුතු ලක්ෂණයක්.

මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකක් ආණ්ඩු කළා. ඒ ආණ්ඩුවල දුර්වලතා දකින විට ජනතාව ඒ ආණ්ඩු පරාජය කරනවා. ඊට පස්සේ ජනතාව ආයෙත් ආණ්ඩුවක් බලයට ගෙන එනවා. ඒ ආණ්ඩුවත් කාලයක් ගිය විට ජනතාව පන්නා දමනවා. ජනතාව රාජ්‍ය නායකයන් ඇතුළු ආණ්ඩු පන්නා දමන කාර්යයේදී ඉතිහාසයේ පුරාම මේ රටේ මහා සංඝරත්නයත් ඒ සඳහා ප්‍රධාන වෙලා කටයුතු කළා කීවොත් නිවැරැදියි. සමහර අදුරදර්ශී පාලකයන් රටේ පාලනයට පත්වූ විට මහා සංඝරත්නය එකතු වී ජනතාවත් උසිගන්වාගෙන සමහර රජවරු රාජ්‍යත්වයෙන් පහ කරන්න කටයුතු කළ ආකාරය ඉතිහාසයේ මොනවට සාක්ෂි තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් යන මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකම එක්වී මේ රට සංවර්ධනය කිරීමට උත්සහ දරන අයුරු පේනවා. මෙය අගේ කළ හැකියි. ආණ්ඩු මාරුවන ගාණට ප්‍රතිපත්ති සහ මුහුණු වෙනස් කරගෙන යන ගමන අප එදා සිට කරගෙන ආවත් අපට ඕනෑම රජයකට පිළිගත හැකි විශ්වසනීය ජාතික ප්‍රතිපත්තියක් නැතිවීමේ අභාග්‍යය අප දීර්ඝ කාලයක් අත්වින්දා. ඉන්දියාවේ මොන පක්ෂයක් බලයට පත් වුණත් මේ ජාතික ප්‍රතිපත්තිවලට අනුගත වී කටයුතු කළ යුතුයි. එංගලන්තයෙත් ජාතික ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරනවා.

රටක පොදු ප්‍රතිපත්තියක් නැතිවූ විට ආණ්ඩු එන එන ගාණට, ආණ්ඩු මාරුවන ගාණට බොහෝ දේ වෙනස් වී ක්‍රියාත්මක වීමේ අත්වන ප්‍රතිවිපාකය බිහිසුණු කුරිරු ව්‍යසනයක් ලෙස අත්දැක තිබෙනවා.

ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයා නියෝජනය කරන රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව යන ගමන් මාර්ගයක් පෙනෙන නිසා එය කොපමණ කාලයක් තියේවිද කියා අප දන්නේ නැහැ. ජනාධිපතිවරයා කියනවා තමාගේ බලාපොරොත්තුව අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් හදන්න කියලා. අගමැතිවරයා කියනවා මගේ බලාපොරොත්තුව අනාගතයේ එක්සත් ජාතික රජයක් පිහිටුවීමයි කියලා.

එතනත් ලොකු විහිළුවක්. මේ පක්ෂ දෙක එකට කොතරම් කාලයක් ඉදිරියට යාවි දැයි අපට ගැටලුවක් තිබෙනවා.
මේ රට සිංහල බෞද්ධ රටක්. ඒ අනන්‍යතාව අනාගතයට ආරක්ෂා කරන්න මේ පක්ෂ දෙකම එක්ව සිටින රජයත් බැඳී සිටිනවා. මේ අවස්ථාව පක්ෂ දෙකක් එකතු වූ මහා දුර්ලභ අවස්ථාවක්. මේ අවස්ථාව පාවිච්චි කරලා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි.

පසුගියදා විගනේශ්්වරන් මහ ඇමැතිවරයා මහා විහාර දෙකටම පැමිණියා. එතුමා කියනවා උතුරු නැඟෙනහිර පළාත්වලට කුඩම්මාගේ සැලකිලි ලැබෙනවා කියලා. උතුරු නැඟෙනහිර පළාත් යුද්ධයෙන් විනාශ වුණා. එය ඇත්ත. අපේ අස්ගිරි මහ නාහිමියන් යාපනයට ගොස් විශාල රැස්වීමක් සාකච්ඡාවක් පැවැත්වුවා. මමත් මෑත කාලයේ උතුරේ ආගමික උත්සවවලට සහභාගි වුණා. අපට පේනවා උතුරු නැඟෙනහිර ජනතාව විශාල ලෙස දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියලා. පහසුකම්වලින් අඩු බවක් දක්නට ලැබෙනවා. මෙය පෙනෙන්නේ අපේ පළාතත් සමඟ සංසන්දනය කර බැලූ විටයි.

දෙවැනුව එතුමා කීවා බෙල්ජියම වගේ රටවල්වල ෆෙඩරල් පාලනයක් තිබෙනවා. ඒකීය රාජ්‍යයක් තුළ ෆෙඩරල් ක්‍රමය සාර්ථකව සිදුවෙනවා කියා එතුමා පෙන්වා දුන්නා. ඒ නිසා අපට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය බව ඔහු සඳහන් කළා. ඒකට අපට එකඟ වෙන්නම බැහැ කියා අප ඒ වෙලාවෙම සඳහන් කළා.

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්