රටේ ප්‍රශ්නවලට දේශපාලනඥයන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නැහැ

  👤  2299 readers have read this article !
By mawbima 2017-10-24

අපිට තිබෙන ආර්ථික ප්‍රශ්න, සමාජමය ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න මේ සියල්ල පිළිබඳව ඇඟිල්ල දික්කරනු ලබන්නේ රටේ දේශපාලනඥයන්ට පමණක්ද කියන කාරණය උගත් ඔබෙන් මා අසා සිටිනවා. රටක් ලෙස ඉදිරියට යන විට අපේ වගකීම ඉටු කිරීමේදී කොතෙක් දුරට ඒ සඳහා එක්විය යුතුය යන කාරණාව අපේ හෘද සාක්ෂියෙන් අප විසින්ම ඇසිය යුතු ප්‍රශ්නයක් ලෙසයි මා දකින්නේ යනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ටයන් ඇගයීමේ අරමුණින් පැවැති ජයවර්ධනපුර 'ප්‍රදීප ප්‍රණාම' සම්මාන උළෙලට සහභාගි වෙමිනි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල පසුගිය දින (20දා) කොළඹ වෝටර්ස් එජ් හිදී පැවැත්විණි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය දෙවැනි වරටත් සංවිධාන කළ මෙම ජ'පුර 'ප්‍රදීප ප්‍රණාම' සම්මාන උළෙලේදී පැවිදි, සුබසාධන, දේශපාලන, රාජ්‍ය පරිපාලනය, මාධ්‍ය, ව්‍යවසායක හා ජාත්‍යන්තර ක්ෂේත්‍රය යන කේෂේත්‍ර 08ක විශිෂ්ටයන් 42 දෙනකු සඳහා සම්මාන ප්‍රදානය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පමණක් සීමා නොවූ එමෙන්ම පොදුවේ සියලු විශ්වවිද්‍යාලවලට අදාළවද අප විසින් සැලකිල්ලට ගත යුතු කරුණක් තිබෙනවා. එනම් මේ රටේ විද්වතුන් හා උගතුන් විශාල පිරිසක් තම දැනුම හා බුද්ධිය යොදාගනිමින් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකරන රටේ අනාගතය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටුකරන පිරිසක් වුවත් යම් සැලකිය යුතු පිරිසක් ඒ ආකාරයට තම දායකත්වය ලබා නොදෙන බවද පෙනී යන කාරණයක්.

ඇමෙරිකාවේ වර්ණභේද වාදයට විරුද්ධව විශාල සටනක් ගෙන ගොස් අවසානයේ වෙඩි පහරකට ලක්ව මිය ගිය ආචාර්ය මාටින් ලූතර් කිං එදා පැවැසුවේ, මානව සමාජයේ ප්‍රගමනය සඳහා බරපතළම අභියෝගය වී තිබෙන්නේ පුහු ඝෝෂාකාරීන්ගේ හඬ ඉස්මතුවීමත්, පුහු ඝෝෂාකාරීන්ගේ හඬ යටපත් කරන්නට නිහඬව සිටින මානවවාදී උගතුන් විසින් හඬක් නොනැඟීමත් කියායි. ඇමෙරිකාවේ ඒ යුගය තුළ මාර්ටින් ලූතර් කිං කියූ දේ අද මමත්, ඔබේත් මගේත් ආදරණීය රට වෙනුවෙන් හඬනඟා කීම සාධාරණ බව මා සිතනවා.
අපේ රට ලෝකයේ, මහා උගතුන් බිහි කළ, බිහි කරන රටක්. ඒ කටයුත්තේදී ලෝකයේ තවත් රටකට දෙවැනි නොවන රටක්, අපේ රටේ තිබෙන සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නවලදී මේ රටේ විවිධ විෂය ක්ෂේත්‍රවල ගොඩනැඟී ඇති ප්‍රශ්නවලදී අපේ උගතුන් රට හැරයෑමේ ප්‍රශ්නය කොතෙක් දුරට බරපතළ වී තිබෙනවාද යන කාරණය ඔබ විසින් සිතට ගත යුතුයි. දේශපාලනඥයන් විදියට අපි ඒවාට විසඳුම් දෙන්න ගිය විට දේශපාලන මුහුණවරක් පිළිබඳ කතා කරමින් ඒවාට විරුද්ධත්වය පළ කරනවා.
මේ විදියට අපි සෑම කෙනෙක්ම කටයුතු කරන්නට ගියොත් අපේ රටේ අනාගතයේ සංවර්ධනය පිළිබඳ උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, විශේෂඥයන්ගේ සේවාව කොතෙක් දුරට අප විසින් නිරාකරණය කරගත යුතුද කියන කාරණාව, ඒ සඳහා දිය හැකි යම් යෝජනා, විසඳුම් තිබේ නම් ඒ පිළිබඳ ඔබේ අවධානයට යොමු කරනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සැම විටම යහපත් සහ විශිෂ්ටත්වය පිළිබඳ කතා කරනවා මෙන්ම එයට මා එක්වෙනවා මෙන්ම ඔබේ විශ්වවිද්‍යාලයේ නමට ඇතැම් වෙලාවට අපකීර්තිය ඇති කරගත් ඇතැම් කරුණුත් තිබෙනවා. උදාහරණයක් ලෙස ගත් විට මේ රටේ සංවර්ධන ව්‍යාපෘතියක් විදියට බරපතළ ප්‍රශ්නයක් මතුවී තිබෙන උමා ඔය ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය. නමුත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එවැනි ශක්‍යතා අධ්‍යනයක් කරලා නැහැ. පාරිසරික ඇගයීම් අධ්‍යයනයක් කර නැහැ. මේ මහා යෝධ ව්‍යාපෘතිය කරන්න ගිය විට එවකට සිටි අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලා අස්වුණා. ඉල්ලා අස්වුණේ ශක්‍යතා අධ්‍යයනය නිවැරැදි ලෙස කර නැති නිසා. ඉල්ලා අස්වුණේ පාරිසරික අධ්‍යයනය නිවැරැදිව කර නොමැති නිසා. අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක් නොවේ තාක්ෂණික ඇගැයීම් කමිටුවේ සභාපතිවරයාත් විශිෂ්ට ඉන්ජිනේරුවෙක්. ලේකම්වරයාත් විශිෂ්ට ඉන්ජිනේරුවරයෙක්. ඒ දෙදෙනාම ඉල්ලා අස් වුණා. මේ ව්‍යාපෘතිය සහ ඇස්තමේන්තු අපට අනුමත කරන්න බැහැ කියා. අපි ගරු කරන ගෞරවනීය විශ්වවිද්‍යාලය අද බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බරපතළ පාරිසරික විනාශයකට පත්වී තිබෙන වැරැද්දකට ඔබ විශ්වවිද්‍යාලයේ නාමය යම් ආකාරයෙන් එකතු වී තිබෙනවා. ඒවා නොකියාම බැරි නිසයි මම කියන්නේ. මෙතෙක් ඔබ දිනාගත් ජයග්‍රහණ මෙන් ඒ කීර්තිමත් ඉතිහාසය තව තවත් ප්‍රභාවත් කරන්න අප සෑම කෙනෙක්ම එකට එක්වී කැපවෙමු.

මෙහිදී පැමිණ සිටි පිරිස පිළිගනිමින් ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා, විවිධ කේෂ්ත්‍රයන් 8ක් නියෝජනය කරන ජ'පුරෙන් බිහිවී රටට විශිෂ්ට සේවයක් කළ විද්‍යාර්ථීන් 42දෙනකු ඇගයීමට ලක් කරනවා. ජ'පුරෙන් අධ්‍යාපනය ලබා එම ලබාගත් දැනුම් සම්භාරය රටට යම්කිසි සේවයක් ලබාදීම සඳහා අපි සියලු දෙනාගේම වගකීම, යුතුකම විය යුතුයි. යනුවෙන් අදහස් දැක්වීය.

"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අද සහ හෙට" යන තේමාව යටතේ මෙහිදී ජ'පුර වත්මන් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද අදහස් දක්වමින් "ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මානයට පාත්‍ර වන අප විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වගේම පිරිසක් ශ්‍රී ජ'පුර තුළින් අද දවස තුළින් හෙට දිනයේදී නිර්මාණය කිරීම අපගේ ඒකායන අරමුණයි. එදා අප වැනිම පිරිසක් තැනුවේත් මේ විශ්වවිද්‍යාලයමයි. අද දවසේ තාක්ෂණික ලොව ජයගැනීමට හැකිවන නූතන විශ්වවිද්‍යාලයක් බවට අනුවර්තනය වන්නේත් සෝරත හිමියන් තැනූ ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමයි.

අප විශ්වවිද්‍යාලයේ ආදි කර්තෘ අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නායක හිමිපාණන් අක්කර 34ක භූමි භාගයක පිහිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වන විට නව පීඨ ඉදිකිරීමත් සමඟ ව්‍යාප්ත වී තිබෙනවා. 1959දී අපේ විශ්වවිද්‍යාලය ආරම්භ කරද්දී මුළු ශිෂ්‍ය සංඛ්‍යාව වුණේ 376යි. අද මේ වන විට මුළු ශිෂ්‍ය ප්‍රජාව 12,265ක් වෙනවා.
අපේ විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන භූමි භාගය කෝට්ටේ රාජධානියේ 6 වැනි පරාක්‍රමබාහු රජු දවස දක්වා අෑත අතීතයකට හිමිකම් කියනවා. එදා සුනේත්‍රාදේවී පිරිවෙනට අවශ්‍ය පුස්කොළ පොත් සඳහා තල්පත් ලබා දුන්නේ අද අපේ විශ්වවිද්‍යාලයේ පිහිටි බිමෙහි තිබූ තල් ගස්වලිනුයි යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වීය.

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්