වසර පහක් කොටි කඳවුරක මැරි මැරී ඉපදුණු පොලිස් සැරයන් අබේවික්‍රමට තවමත් රැකියාව නෑ

  👤  2353 readers have read this article !
By mawbima 2017-10-24

උෟරුබොක්ක - අතාවුද පතිරණ

ඉතා අමිහිරි මතක සටහන් ඉතිරි කරමින් තිස් වසරක කුරිරු යුද්ධය නිමාවී හරියටම වසර 8කි. එම යුද්ධය පැවැති කාලයේ වසර පහක් පුරා කොටි සිර කඳවුරක මැරි මැරී ඉපදෙමින් අපාදුක් විඳි පොලිස් නිලධාරීන් 44 දෙනාගෙන් එක් පොලිස් නිලධාරියකු පිළිබඳ දිග හැරෙන අනුවේදනීය කතාවක්..... යන සිරත්තලයෙන් පසුගිය මැයි 19 දින සිකුරාදා 'මව්බිම' පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රම්මල වරාපිටිය පදිංචි පො. සැ. ගමගේ පේමදාස අබේවික්‍රම (11933), පොලිස් නිලධාරීයාගේ අනුවේදනීය කතාව මුළු රටටම අනාවරණය කෙරිණි. ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යොවුන් පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ඉකුත් මැයි 21 වැනිදා ඉරිදා මව්බිම පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එම හෙළිදරව්ව සම්බන්ධයෙන් අසාධාරණයට ලක්වූ පොලිස් නිලධාරියා ජනාධිපතිතුමාට මුණගස්වන්නට තමා මැදිහත්වන බවයි. එහෙත් එම පුවත පළවී දැන් මාස පහක් ගෙවී ඇතත් ජනාධිපතිතුමා මුණගැස්සවීම හෝ රැකියාව නැවත ලබාදී සාධාරණයක් ඉටුකර දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතාටද මෙතෙක් හැකිවී නැතැයි රැකියාව අහිමි පොලිස් නිලධාරිවරයාගේ පවුලේ ඥාතීන් චෝදනා කරයි.

පසුගිය කාලයේ අවස්ථා හතරකදී මහජන පෙත්සම් කාරක සභාවේ ලේකම් විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට 2013.07.23, 2013.11.26, 2014.05.21, 2014.11.26 යන දිනවල නියෝග 4ක් නිකුත් කර තිබිණි.

අබේවික්‍රම පොලිස් නිලධාරියාගේ අනුවේදනීය පුවත නැවතත් 2017 අගෝස්තු 8 වැනිදා අඟහරුවාදා 'මව්බිම' පුවත්පතේ දෙවැනි වරටත් හෙළි කළ පසු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ මහජන දිනවලට ඔහුව කැඳවා 'මව්බිම' පුවත්පතේ හෙළිදරව්වට අනුව අසාධාරණයක් සිදුව තිබෙන බවත් ඒ පිළිබඳ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුකර ඇති බැවින් රැකියාව නැවත ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවට පවසා දැනට මාස දෙකක් ගතව ඇත.
එනමුත් රැකියාව නැවැත ලබාදී නැති බව පසුගියදා පො. සැ. ගමගේ පේමදාස අබේවික්‍රම මහතාගෙන් කළ විමසීමකදී පැවැසීය.
පො. සැ. ගමගේ පේමදාස අබේවික්‍රම මහතාගේ ඥාතීන් පවසන්නේ රැකියාව අහිමිව වසර 9ක් සිය රැකියාව නැවත ලබාදෙන ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලමින් දුක්විඳින ඔහුව නැවත වතාවක් අසරණ නොකර හැකි ඉක්මනින් සාධාරණය ඉටුකර දෙන ලෙසයි.

රට වෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට ඔහුට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති, අගමැති මෙන්ම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේද විශේෂ අවධානය යොමුකරන ලෙස පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්