මහ නාහිමිවරුන් හමු වී ව්‍යවස්ථා සංශෝධනය ගැන නැවත සාකච්ඡා කරනවා

  👤  2320 readers have read this article !
By mawbima 2017-10-24

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

රජයේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරි දින කීපය තුළ තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය නැවත හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇති බව එම පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුරයේ නැඟෙනහිර ආසනයේ නව සම සංවිධායක ඩී.පී. බන්දුලසේන මහතාට සුබ පැතීම සඳහා අනුරාධපුර නෙළුබෑව පිහිටි ඒ මහතාගේ නිවෙසේදී පෙරේදා (22දා) සවස සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේද කීය.

මම මීට සති කීපයකට පෙර ගොස් මහ නායක ස්වාමින් වහන්සේ බැහැ දැක රජයේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අපගේ ස්ථාවරය පිළිබඳව පැවැසුවාම උන්වහන්සේ බොහොම ප්‍රසාදය පළ කර සිටියා. ඊට පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තවත් කෙනෙක් ගිහින් උන්වහන්සේ බැහැ දැක වැරැදි දෙයක් ප්‍රකාශ කළ විට ඒකත් පිළිගන්නා අවස්ථා තිබෙනවා. ඒ නිසා අපි පක්ෂයක් විදියට මහ නායක ස්වාමින් වහන්සේ බැහැ දැක නව ව්‍යවස්ථා සංශෝධනය තුළ මොනවාද අන්තර්ගතව තිබෙන්නෙ කොහොමද කෙරෙන්නෙ සහ කවදාද කෙරෙන්නෙ කියන කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වෙනත් කිසිම පක්ෂයක් හෝ කිසිම ජන වර්ගයකුත් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය නොදිය යුතුයි කියන තැන නෑ. මේ රට බෞද්ධ රටක්. බෞද්ධාගමට මූලිකත්වය දෙන රටක් හැටියට රටේ හැමෝම පිළිගන්නවා. ඒ නිසා අපි කවුරුවත් නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ. බෞද්ධයාට හෝ බෞද්ධාගමට හිමි තැන අබමල් රේණුවක් තරම්වත් හානියක් හෝ අසාධාරණයක් තිබෙන ව්‍යවස්ථාවෙන් හෝ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු නොවන බව ඉතාමත් පැහැදිලිව අවධාරණය කරන්න කැමැතියි.

ඒ නිසා අපි ඉදිරියේදී දිවයින පුරා වැඩ වසන මහා සංඝරත්නයට ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ යෝජනා පිටපතක් බැගින් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ස්වාමින් වහන්සේලාට එක එක්කෙනා කියන දේවල් අහන්න අවශ්‍යතාවක් නෑ. ව්‍යවස්ථා සංශෝධනයට ඉදිරිපත් වී තිබෙන අලුත් යෝජනාවලින් මොනවාද හොඳ මොනවාද නරක කියලා කියවලාම තේරුම් ගැනීමට පුළුවන්කම තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්