මාස 2කට පසු රයන්ට ඇප

  👤  2464 readers have read this article !
By mawbima 2017-10-24

කේ. එස්. උදය කුමාර්

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට රුපියල් ලක්‍ෂ 15ක පමණ අලාභයක් සිදුකළේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටි වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට ඊයේ නියෝග කළේය.

ඒ අනුව මින් මතුවට සැකකරු මෙවැනි ක්‍රියා සිදුවන ස්ථානවල සිටීමද තහනම් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා එසේ සිටි බවට ඡායාරූපයක් හෝ අධිකරණයට පිළිගත හැකි සාක්‍ෂියක් ඉදිරිපත් වූවොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කරන බවද සැකකරුට අනතුරු අඟවා සිටියේය. එමෙන්ම සැකකරුගේ ඉදිරි ක්‍රියා කලාපය පිළිබඳව අධීක්‍ෂණය කරන ලෙස විනිසුරුවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට කළ නියෝගයේ සඳහන් විය.
ඊට අමතරව සැකකාර රයන් ජයලත්ට රුපියල් ලක්‍ෂ 05ක පෞද්ගලික ඇපයක් නියම කළ අතර ඇපකරුවන් ලෙස ඔහුගේ මව සහ පියා අස්සන් කළ යුතු බවද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

පසුගිය ජුනි මස 21 වැනිදා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විදුහල අහෝසි කරන්නැයි බල කරමින් පැවැති උද්ඝෝෂණයකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස කඩා වැදී එහි දේපළවලට රුපියල් ලක්‍ෂ 15ක පමණ
අලාභහානි සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ රයන් ජයලත් නමැත්තා ඇප මත මුදා හැරීම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඉකුත්දා ප්‍රතික්‍ෂේප කර තිබිණි.

එම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් රයන් ජයලත් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ (23දා) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඉදිරියේ විභාගයට ගැනුණි.

එහිදී පෙත්සම්කාර රයන් ජයලත් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ ගාමිණි අල්විස් මහතා සැකකරු දැනට මාස 02ක් සහ දින 07ක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බව කියා සිටියේය.
ඔහු වෛද්‍ය උපාධිය අවසන් කර සීමාවාසික පුහුණුව ලැබීමට සුදුසුකම් ලබා සිටින අයකු බව සඳහන් කළ නීතිඥවරයා ඒවා සුවිශේෂ කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් පෙත්සම ඉදිරිපත් කර ඇති සැකකරුට මෙම නඩුවට අමතරව තවත් නඩු 07ක් විවිධ අධිකරණවල පවතින බව ප්‍රකාශ කළේය. දේශපාලනයේ නිරත වීමට ශිෂ්‍යයන්ට තිබෙන හිමිකම තමන් කිසිසේත්ම අභියෝගයට ලක් නොකරන බව සඳහන් කළ රජයේ නීතිඥවරයා එහෙත් ඔවුන් එම අයිතිවාසිකම භුක්ති විඳීමේදී පොදු මහජනයාගේ දෛනික කටයුතුවලට බාධා සිදුවිය නොහැකි බවද ප්‍රකාශ කළේය. ශිෂ්‍යයා යනු සැමවිටම නීතියට යටින් සිටින පුද්ගලයකු මිස ඔහු නීතියට ඉහළින් සිටින පුද්ගලයකු නොවන බව සැකකරු වටහා ගත යුතු බවත් ඇප නියම කිරීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් පෙත්සමෙන් අනාවරණය නොවුවද අධිකරණයේ අභිමතය පරිදි සුදුසු නියෝගයක් ලබා දෙන්නැයි රජයේ ජේ‍යෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා සඳහන් කළේ සැකකරු මේ වන විට වෛද්‍ය උපාධිය අවසන් කර සීමාවාසික පුහුණුව ලැබීමට සූදානමින් සිටින බවයි. සැකකරු මෙම තත්ත්වයට රැගෙන ඒම සඳහා රජය විසින් විශාල මහජන මුදලක් වැය කර ඇති බවත් ඔහු දිගින් දිගටම රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් මෙසේ වැය කළ මහජන මුදල් අපතේ යෑමක් සිදුවන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප කොන්දේසි උල්ලංඝනය නොකිරීමට වග බලා ගන්නා ලෙසද සැකකරුට විවෘත අධිකරණයේදී අවවාද කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්