කැකිරාවේ දැරියගේ සිද්ධිය මානව හිමිකම් කොමිසමට

  👤  2382 readers have read this article !
By mawbima 2017-10-24

දඹුල්ල - ධම්මික නාමල් කෝරාළ

ගැබ්ගෙන ඇති බවට උපකල්පනය කරමින් කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත මහා විදුහලෙන් ඉවත් කරන ලද 10 වැනි වසර ඉගෙනුම ලැබූ දැරිය මුහුණපෑ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිද්ධියට මුහුණ පෑ දැරිය පිළිබඳව පළ වූ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා හා දැරියගේ මවුපියන් විසින් එම කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිඛිත පැමිණිල්ලක් පදනම් කරගෙන මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ දැරිය කුසගින්න නිසා ඇති වූ වමනය යෑමෙන් පසු පාසලේ විනය කමිටුව විසින් තම කැමැත්තෙන් දැරිය පාසලෙන් අස්කරගෙන යන බවට සඳහන් ලියවිල්ලකට අස්සන් ලබා ගත් බවත් විදුහල්පතිනිය විසින් තම දියණිය පාසලෙන් අස් කළ බවට කියා සිටි දැරියගේ පියා වන එච්.එම්. කිරි බණ්ඩා මහතා, මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

සිද්ධිය පිළිබඳව මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලැබීමෙන් පසු තම නිවෙසට පැමිණි ගුරුවරුන් දෙදෙනකු විසින් තම දියණියට කිසිදු අගතියක් සිදු නොකරන බව සඳහන් කරමින් සියලු දේ අමතක කර දමා යළි සඳුදා (23දා) දින සිට පාසලට පැමිණෙන ලෙස දැනුම් දුන් බවද ලිපියේ දැක්වේ.

පසුව දියණිය දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව සිට කරන ලද පරීක්ෂණවලදී දැරිය ගැබ් ගෙන හෝ අපයෝජනයට ලක්ව හෝ නොමැති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවත් තම දියණිය මුහුණ පෑ මේ තත්ත්වය තුළ දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බවත් තම දියණියට මුහුණ පෑමට සිදුවූ මේ තත්ත්වය නිසා සිදු වූ අපහාසය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කරන ලද ලිපියෙන් ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්