දිවුලපිටියේ STF-පාතාල සටන

  👤  2694 readers have read this article !
By mawbima 2017-10-24

චාමර අමරසූරිය,මීරිගම - දිනූෂි,
දිවුලපිටිය - අයි. එම්. ඒ. රත්න

දිවුලපිටිය, දූනගහ, හේන්පිටගෙදර පාසල අසලදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ පාතාල සාමාජිකයන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල නායක මාකිලන්ගමුව සංජීවගේ ගෝලයකු වූ මිනුවන්ගොඩ කුරේ නමැති පාතාල සාමාජිකයා ඊයේ (23දා) මියගොස් තිබේ. 35 හැවිරිදි ඔහු නාවික හමුදාවේ සේවය කළ අයකු බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රිවරුන් වන රන්දීර් රුද්‍රිගු ඇතුළු පාතාල සාමාජිකයන් 7 දෙනකු මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා පවසයි.

අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රිවරයා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එ.ජා.ප. ප්‍රබල ඇමැතිවරයකුගේ ඥාතියකු බවද පොලිසිය පවසයි.
පළාත් සභා මන්ත්‍රිවරයාගේ හැඳල ප්‍රදේශයේ පිහිටි නිවෙස ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් දැඩි සෝදිසියකට ලක් කිරීමේදී නිවෙස තුළ තිබී විවිධ වර්ගයේ උණ්ඩ 100කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගත් බවද ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටියේය.
එම නිවෙසේ සිටි අදාළ මන්ත්‍රිවරයාගේ බිරියද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පාතාල සාමාජිකයන් පිරිස ඊයේ දිවුලපිටිය ප්‍රදේශයට ගොස් ඇත්තේ තවත් පිරිසක් සතු වටිනා නිධානයක් ඔවුන්ට පහර දී රැගෙන ඒමට බවද මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

මේ සඳහා පාතාල සාමාජිකයන් දස දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් පැමිණ ඇති බවත් ඉන් දෙදෙනකු පලා ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එලෙස පලා ගිය අය අතර පොල්වත්තේ නිශාන්ත නමැති පාතාල සාමාජිකයකු සිටින බවද ඊයේ රාත්‍රිය වන විට විමර්ශන කණ්ඩායම් හෙළිදරව් කර ගෙන තිබිණි.
එම පාතාල සාමාජිකයා මෙම වසරේදී කළුතර එතනමඩල ප්‍රදේශයේදී පාතාල නායක "සමයං" ඇතුළු පිරිස ඝාතනයට පැමිණි අයකු බවද පොලිස් කණ්ඩායම් හෙළිදරව් කර ගෙන ඇත.

එසේම ඔහු සමඟ පලා ගිය අනෙක් තැනැත්තා මෙම කණ්ඩායම මෙහෙය වූ පාතාල නායක මාකිලන්ගමුවේ සංජීව බවටද පොලිසිය සැක පළ කරයි.
මීට වසර කිහිපයකට ඉහතදී පාතාල නායක දෙමටගොඩ චමින්ද නැමැත්තා රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයට වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අයෙකි. එසේම සංජීව නැමැත්තා 2010 වසරේදී පෑලියගොඩ පෞද්ගලික බැංකුවක රුපියල් කෝටි 7ක කොල්ලයට අදාළවද පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් අයෙකි.

පාතාල සාමාජිකයන් පැමිණි වෑන් රථයක් සහ ඔවුන් සන්තකයේ තිබූ පිස්තෝල දෙකක්, සෙල්ලම් පිස්තෝලයක්, අත් බෝම්බයක්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිය භාරයට ගෙන ඇත. යම් අපරාධයක් කිරීම සඳහා ආයුධ සන්නද්ධ පිරිසක් වෑන් රියකින් ගමන් කරන බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව එම නිලධාරි පිරිසක් බල්ලපාන දූනගහ මාර්ගයේ රැකවල්ලා සිට ඇත. දහවල් 1.30ට පමණ සැකකටයුතු වෑන් රියක් පැමිණෙනු දුටු විශේෂ කාර්ය බළකාය එය නවතන ලෙසට නියෝග කර ඇති අවස්ථාවේ වෑන් රියේ සිටි සන්නද්ධ පිරිස විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ විශේෂ කාර්ය බළකාය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. එම වෙඩි ප්‍රහාරවලින් පාතාල කල්ලියේ දෙදෙනකුට වෙඩි වැදී ඇති අතර වෙඩි වැදුණු එක් සැකකරුවකු පලා ගොස් ඇත.
වෙඩි ප්‍රහාරය සිදුවූ ස්ථානයේ වැටී සිටි මිනුවන්ගොඩ කුරේ නමැත්තා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් දිවුලපිටිය, හොරගස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇත.

මියගිය අපරාධකරු සන්තකයේ තිබූ රිවෝල්වරය එම සැකකරුට වෙඩි වැදුණු ස්ථානයේ බිම වැටී තිබියදී හමු වී ඇති අතර තවත් පිස්තෝලයක් අතුරු මාර්ගයක වැටී තිබියදී පොලිසිය සොයා ගනු ලැබීය. සැකකරුවන් පලා යෑමට තැත් කරද්දී එක් අයකු අතහැර දැමූ ළිඳක වැටී සිටියදී විශේෂ කාර්ය බළකාය හා පොලිසිය එක්ව බේරාගෙන ඇත.
වෙඩි වැදී පලාගිය අනෙක් සැකකරු ඊයේ (23දා) පස්වරුවේ මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ අත්අඩංගුවට ගත් අතර ඔහුගේ තත්ත්වය බරපතළ වූ හෙයින් ගම්පහ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

සිද්ධිය වූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය විසින් සිදුකළ අතර සැකකරුවන් හත් දෙනා හා ඔවුන් පැමිණි වෑන් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා දිවුලපිටිය පොලිසියට භාරදී තිබේ. වෙඩි හුවමාරුවේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනකුටද වෙඩි ප්‍රහාරයන් දෙකක් වැදී ඇති බවත් නමුත් එම නිලධාරීන් වෙඩි නොවදින ආරක්ෂක ඇඳුම් ඇඳ සිටි නිසා ඉන් ඔවුන්ට කිසිදු හානියක් නොවූ බවද ජේ‍යෂ්ඨ නිලධාරීන් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් අතර ගම්පහ කෝටිපති ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතාව ඝාතනය කිරීම සඳහා අවස්ථා කිහිපයකදී සැලසුම් දියත් කළ පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනකුද සිටින බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් පැවැසීය.

මීගමුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතාගේ මෙහෙය වීම මත දිවුලපිටිය, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයන්හි නිලධාරීන් මීගමුව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්