හමුදාවේ සේවයට වාර්තා නොකළ අයට යළි පොදු සමා කාලයක්

  👤  2579 readers have read this article !
By mawbima 2017-10-23

චාමර අමරසූරිය

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබන 23 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ යෝජනාවකට අනුව සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේ මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම කාල සීමාව තුළ තමන් සේවය කළ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත පැමිණ නීත්‍යනුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට හැකි බවද යුද හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.එල්.එස්.කේ. පෙරේරා මහතා පැවැසීය.

වෛද්‍ය බළකායේ සාමාජිකයන් හැර හමුදා අනෙක් සාමාජිකයන්ට පොදු සමාව යටතේ නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත් විය හැකි බවද හෙතෙම කියා සිටියේය.
මේ වනවිට වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් දෙදෙනකු සහ සෙසු කාර්ය මණ්ඩලයේ 98 දෙනකු නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටී.
එසේම යුද හමුදා සාමාජිකයන් 30,000ක් පමණ මෙලෙස නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින බවද යුද හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ඉකුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේද පොදු සමා කාලයක් යුද හමුදාව විසින් ප්‍රකාශයට පත් කළ අතර එම කාල සීමාවේ යුද හමුදා නිලධාරින් 10 දෙනකු සහ සෙබළුන් 7816 දෙනකු භාරවී තිබිණි.

ඉන් අනතුරුව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එහිදී යුද හමුදා නිලධාරීන් 14 දෙනකු සහ සෙබළුන් 5549 දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්