නුවරඑළිය ප්‍රාදේශීය සභා වැඩි කිරීමේදී සිංහල ජනයාටත් සාධාරණයක් ඉටුවිය යුතුයි

  👤  2575 readers have read this article !
By mawbima 2017-10-23

උදයන්ති මුණසිංහ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන වැඩි කිරීමේදී සිංහල ජනතාවටද සාධාරණයක් ඉටු විය යුතු බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසයි. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහ තම ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය හා අඹගමුව යන ප්‍රාදේශීය සභා දෙක ප්‍රාදේශීය සභා 6ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභාව නුවරඑළිය, කොටගල හා ආගරපතන ප්‍රාදේශීය සභා ලෙස ව්‍යාප්ත වන අතර අඹගමුව ප්‍රාදේශීය සභාව අඹගමුව, නෝර්වුඩ් හා මස්කෙළිය ලෙස ව්‍යාප්ත වන බවත්, එම ප්‍රාදේශීය සභා මෙලෙස ප්‍රාදේශීය සභා 6ක් බවට පත් වන්නේ ලක්ෂ දෙකහමාරකට අධික ජනගහනයක් එම ප්‍රාදේශීය සභාවල ජීවත්වන නිසා බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් සෙසු ප්‍රාදේශීය සභා වන කොත්මලේ, වලපනේ හා හඟුරන්කෙත යන ප්‍රදේශීය සභාවලද ලක්ෂයකට වැඩි ජනගහනයක් ජීවත් වන බවයි. එම ප්‍රාදේශීය සභාවල ද්‍රවිඩ ජනතාවට වඩා සිංහල ජනතාව බහුතරයක් ජීවත් වන අතර එම ප්‍රාදේශීය සභා තුන හයක් දක්වා ඉහළ නොදැම්මහොත් එම ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජනගහනය 50,000කට එක් ප්‍රාදේශීය සභාවක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබියදී කොත්මලේ, වලපනේ හා හඟුරන්කෙත යන ප්‍රාදේශීය සභා ජනගහනයට අනුව ප්‍රාදේශීය සභා 6ක් දක්වා වැඩි කළ යුතු බවයි.

පවතින තාක්ෂණික දෝෂයක් නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන වැඩිකර ගැනීම තවත් සතියකින් ප්‍රමාද වන බවට නිලධාරීන් පෙන්වා දෙන බවත් එම ප්‍රාදේශීය සභා තුනෙහි ජීවත් වන ජනතාවට සාධාරණයක් ඉටු කිරීම සඳහා මැතිවරණය තවත් සතියකින් කල් දැමීම අසාධාරණ නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්