සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් නැත්තම් 26 වැනිදා රට පුරා සංකේත වර්ජනයක් කරනවා

  👤  2632 readers have read this article !
By mawbima 2017-10-23

උදයන්ති මුණසිංහ

රාජ්‍ය සේවයේ තෝරාගත් සමහර වෘත්තීන්ට සෞඛ්‍ය වෘත්තික සේවාවන්ට වඩා වැඩි වැටුපක් හා නව ශේ‍ර්ණි ක්‍රමයක් ලබාදීමෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ට සිදුවන අසාධාරණයට විසඳුම් නොදෙන්නේ නම් ලබන 26 වැනි බ්‍රහස්පතින්දා දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන ලියාපදිංචි සහකාර වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් පුහුණු සෞඛ්‍ය වෘත්තික සේවාවන් සියල්ලට පහළින් ඇති රාජ්‍ය සේවයේ සමහර තෝරාගත් වෘත්තීන්ට පමණක් 2015දී වැටුප් සංශෝධනය කොට ඉහළ නව වැටුප් පරිමාණයක් හා ශේ්‍රණි ක්‍රමයක් ලබාදීමෙන් සෞඛ්‍ය වෘත්තික සේවාවන්හි වැටුප් පරිමාණ ඉක්මවා යෑම දැඩි අසාධාරණයක් බව ඔවුහු පෙන්වා දෙති.
එසේ තෝරාගත් වෘත්තීන්ට හඳුනාගත් වැටුප් විසමතා, නිවැරැදි කිරීම පිළිබඳව තම විරුද්ධත්වයක් නොමැති බවත් ඊට සමගාමීව සෞඛ්‍ය සේවාවේ වෘත්තීන්ට සිදුවන විසමතාව නොසලකා එම තීරණ ක්‍රියාත්මක වීම දැඩි අසාධාරණයක් බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී බලධාරීන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා අනුව එම අසාධාරණයට විසඳුම් නොලැබෙන්නේ නම් ලියාපදිංචි සහකාර වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන් ඇතුළු සෞඛ්‍ය වෘත්තික සේවාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 21ක සමස්ත සාමාජිකයන් එළැඹෙන 26 දා දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද ඔවුහු අවධාරණය කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්