මම කොළඹ නගරාධිපති ධුරයට තරග කරනවා

  👤  2725 readers have read this article !
By mawbima 2017-10-23

දේශපාලන පරපුරක් නියෝජනය කළ අයකු විදියට ක්‍රියාකාරී දේශපාලනයට එන්න මෙතරම් කාලයක් ගත කළේ ඇයි?
මම මේ රටේ සූර්ය විදුලිය දියුණු කිරීමේ කටයුත්තකයි නිරත වී සිටියේ. සූර්ය විදුලි ව්‍යාපාරයේ නිර්මාතෘවරයෙක් හැටියට මම 1987 සිට වසර 30ක් විතර කටයුතු කළා. ගම්බද පළාත්වල විදුලිය නැති ප්‍රදේශවලට විදුලිය දීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුව සම්බන්ධ කරගෙන සිදු කළා. ඒකට යොමු වී සිටි නිසා දේශපාලනය ගැන අවධානය යොමු කරන්නට වෙලාවක් තිබුණේ නැහැ.


ඔටුනු පලඳවන්න කුමාරයෙක් නැහැ කියලා ඔබේ සීයා ජේ. ආර්. ජයවර්ධන මහතා කිව්වත් එතුමාගේ මුනුපුරකු වන ඔබේ ආගමනය එම ප්‍රකාශය අභියෝගයකට ලක් කිරීමක්?
එතුමා ඒ කතාව කෙරුවෙ සිරිමාවෝ බණ්ඩාරනායක කාලයේ ශ්‍රී ලනිපය පවුල් වාදයක් වී තිබූ නිසා කියලයි මම හිතන්නේ. මට කුමාරයෙක් නැහැ. ජනතාව තමයි ඉන්නේ කියලා අමනාපයෙන් කිව්වා වෙන්නත් පුළුවන්. මොකද මගේ පියා දේශපාලනයට එන්න සම්පූර්ණයෙන් අකැමැති වුණා.

ඒත් මුනුපුරකු ගැනවත් එවැනි බලාපොරොත්තුවක් තිබෙන්න ඇති?
මෙහෙමයි, එතුමා දැක්කා මම සූර්ය බල ක්ෂේත්‍රයේ ව්‍යාප්ත වෙලා ඉන්න හැටි. මම ගිහිල්ලා කිව්වා නම් එවැනි සහායක් ගන්න තිබුණා. ඒත් එතුමා කැමැති නැහැ බලෙන් ඕවට තල්ලු කරන්න.

එජාප උරුමයක් තියෙද්දී ඇයි ශ්‍රී ලනිපය තෝරා ගත්තේ?
මම හිතුවේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් තැනක ඉන්න අවශ්‍යයි කියලයි. මේ වෙලාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක ශ්‍රී ලනිපයට බොහෝ දුරක් යන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම ශ්‍රී ලනිපය තෝරා ගත්තේ. එජාපයේ මට කිට්ටු මිත්‍රයෝ ගොඩක් හිටියට මට තේරෙන්නේ නැහැ අද එජාපයේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා.

ඒත් අද එජාප නායකයා ඔබේ ඥාතියෙක් වන රනිල් වික්‍රමසිංහනෙ.
එජාපයේ ප්‍රතිපත්තියි තේරුම් ගන්න බැරි. මොකද කාලයක් තිස්සේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වෑයමක් දරනවා. අනිත් පැත්තෙන් යුද්ධ කාලය ගැනත් එජාපය සමඟ මට ප්‍රශ්නයක් තිබුණා. ඒ කාලයේ ගත් තීරණ වගේම සිදු කළ ප්‍රකාශ නිසා විශාල ප්‍රශ්නයක් වුණා. මගේ පියා රවි ජයවර්ධන උතුරේ යුද ගැටුම් අවසන් කිරීමට විශාල මෙහෙයුමක් කළ කෙනෙක්. පොලිස් විශේෂ කාර්ය බළකාය (ඉඊජ්) හැදුවා විතරක් නෙවෙයි යුද හමුදාවට හා නාවික හමුදාවට ශක්තියක් වූ කෙනෙක්. යුද්ධය ගැන එජාපයට එවැනි පසුබිමක් තිබියදී ඒ වෙලාවෙ යුද්ධ කරන එකත් හෙළා දැක්කා. ඒ පරමාර්ථය කුමක්ද කියලා අපට තේරුණේ නැහැ. ඒ වගේම රටේ තිබෙන ආර්ථික තත්ත්වය ගැනත් අද මට එජාපය එක්ක තවත් ප්‍රශ්නයක් තිබෙනවා.

ඇත්තටම එජාපය කියන්නේ ආර්ථිකය පිළිබඳ හොඳම දැනුම තියෙන පක්ෂය. ඒත් රටේ ආර්ථික වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් කාටද?
ඒත් රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ විවෘත ආර්ථිකය ඉදිරියට ගෙන යන බවක්?

විවෘත ආර්ථිකය ගෙන ඒම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මෙතැන තියෙන්නේ. දැන් විවෘත ආර්ථිකයෙන් වෙන් කරන්න බැහැ.
අපි එතැනින් විශාල පිම්මක් පැනිය යුතුයි. නමුත් ඒ ගැන සැලැස්මක් හෝ තේරුමක් නැහැ. එදා ජේ. ආර්. ජයවර්ධන මහතා මහවැලි ව්‍යාපාරය කළා. ලෝක බැංකුව පවා විරුද්ධ වුණා. ඒත් එතුමා මම මේක කරනවා කිව්වා. ලෝක බැංකුවෙන් උදවු ලැබෙන්නේ නැත්නම් රටෙන් එළියට යන්න කියලා ලෝක බැංකුවට කියනවා කිව්වා. එච්චරටම තද තීරණයක් අරගෙන ඒක කළා. ඒ ශක්තිමත් තීරණ නිසා තමයි ඒ වෙලාවෙ අපි විශාල පිම්මක් පැන්නේ. ඒ වගේම නිදහස් වෙළෙඳ කලාපයේ ප්‍රතිඵලයක් නිසා හොඳම ඇඟලුම්වලින් අපේ රට ප්‍රථම ස්ථානයේ සිටිනවා. ඒවා කරපු එජාපයට මෙතැන් සිට තවත් පිම්මක් පනින්න බැරි ඇයිද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක් තිබෙනවා. තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා.

ඔබ ක්‍රියාකාරී දේශපාලනයට එන විට ඒ ගැන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළේ නැද්ද?
ඇත්ත වශයෙන්ම ඒක ඉතා හදිස්සියේ සිදුවුණු දෙයක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හමු වුණා. එතුමාගෙන් ආරාධනාවක් ලැබුණා.
ඔබ ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප සංවිධායක ධුරය ගත්තට පසුව අගමැතිවරයා හමු වුණාද?
හමුවුණා. නමුත් දේශපාලනය ගැන කතා කළේ නැහැ.
1982 ජනමත විචාරණය ගැන ඔබේ අදහස දැන ගන්නත් කැමැතියි?
ජනමත විචාරණය විශාල වැරැද්දක් කියලා මම හිතන්නේ නැහැ. පටන් ගත් විශාල සංවර්ධන ව්‍යාපාර අවසන් කිරීමට වරමක් දෙන්න කියලයි ඉල්ලුවේ. නමුත් අනිත් පැත්තෙන් හොඳ අවස්ථාවක් තිබුණා කැබිනට් එක වෙනස් කරන්න. අලුත් කට්ටිය දමන්න, අඩුපාඩු හදා ගන්න අවස්ථාවක් තිබුණා. ඒක සිදු වුණේ නැහැ. දින නොදා අස්සන් කරලා මන්ත්‍රිවරුන්ගෙන් ලිපි ලබාගත්තා කියලා හැමෝම දන්නවා. ඒ යෝජනාව රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යෝජනාවක්.

අගමැතිතුමා යෝජනා කළා මේ විදියටම යන්න අවස්ථාව දෙන්න අපි මාරු කරන්න එපා හැමෝගෙන්ම ලියුම් අරගන්නම් කියලා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ඔය ලියුම් කවදාවත් දැකලවත් නැහැ. කැබිනට් සංශෝධනයක් කළා නම් එතරම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇමැති මණ්ඩලය සංශෝධනය නොකිරීම තමයි ජනමත විචාරණයේ ලොකුම හානිය වුණේ. මන්ත්‍රිවරු එකම තනතුරුවල දීර්ඝ කාලයක් සිටීමෙන් ලොකු ප්‍රශ්නයක් ආවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයෙත් 18 වැනි සංශෝධනය නිසා ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුණා. විනාශය පටන් ගත්තේ එතැනින්. මට හැමදාම තනතුරේ ඉන්න පුළුවන් කියලා මිනිසුන්ගේ ඔළුවට යනවා. ඒක ප්‍රශ්නයක්.
ඒ කියන්නේ ඔබ 18 වැනි සංශෝධනයට එකඟ නොවන බවද?

නැහැ. අනිවාර්යයෙන්ම එකඟ වෙන්නේ නැහැ.
19 වැනි සංශෝධනයට එකඟද?
19 වැනි සංශෝධනයෙන් විධායකයේ බලය අඩු කරලා තියෙනවා. ඒත් ඒක ගැන කියන්න අමාරුයි. දැනට ඒ අඩු කිරීම නිසා රටේ යම් යම් ප්‍රශ්න ඇති වී තිබෙනවා. ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ක්‍රියා කරන්න ඕන කියලත් තියෙනවා. අද තියෙන තත්ත්වය අනුව උපදෙස් පිළිපදින්නත්, නොපිළිපදින්නත් පුළුවන්. මේ බලය වෙන් කර ගන්නේ කොහොමද කියා අපට හරියටම තේරෙන්නේ නැහැ. හැබැයි දැනට පේන විදියට මේ සංශෝධනය නිසා විධායක ක්‍රමයේ ප්‍රශ්න ඇති වී තිබෙනවා.
ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ජර්මනියේ කොන්සල් ජනරාල් තනතුර ගන්නවා. මොකද්ද ඔහුත් සමඟ තිබෙන සම්බන්ධය.
මං එතුමත් එක්ක සුනාමියෙන් පසුව සම්බන්ධ වුණා. කිරින්ද නගරය සංවර්ධනය කරන්න ආයෝජනයක් ගෙන ආවා. අපි සුනාමියෙන් පස්සේ කිරින්ද නගරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළා. ඒකෙන් මට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරු එක්ක සම්බන්ධකමක් ඇති වුණා.
ඒ අවස්ථාවේ ඔබට දේශපාලනයට එන්න ආරාධනා කළේ නැද්ද?

නැහැ. ජර්මනියේ ගිහින් කොන්සල් ජනරාල් හැටියට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. ජිනීවා මානව හිමිකම් තර්ජනයට මුහුණ දෙන්න එහිදී කටයුතු කළා. ඒකෙන් තවදුරටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සම්බන්ධකමක් ඇති කර ගන්න අවස්ථාව ලැබුණා.
නව ව්‍යවස්ථාව ගැනත් ඔබට අදහසක් ඇති?

මේ ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන්ට අවශ්‍ය මොකද්ද කියලා කෙළින් කියන්නේ නැහැ. සැඟවුණු දෙයක් තියෙන්නේ කියලයි ඒකෙන් තේරෙන්නේ. ව්‍යවස්ථා කෙටුම්පතක්වත් තවම නැහැනේ. යෝජනාවක් පමණයි. ෆෙඩරල් ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියලා කිව යුතුයි. ඒත් එහෙම කියන්නෙත් නැහැ. අවශ්‍යතාව හංගලා ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න හදනවා. ව්‍යවස්ථාවේ එක එක අයගේ පරස්පර මත තියෙන්නේ. ඒ සියල්ල ඇතුළත් කරලා ව්‍යවස්ථාවක් හදන්න බැහැ. ඒක තේරුමක් නැති දෙයක්.
රටේ ව්‍යවස්ථාව ගැන ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බව ඔබ මාධ්‍යයට කියා තිබුණා. කොහොමද ඒක සිදු වුණේ?
මම දන්නේ එකම අවස්ථාවයි. චන්ද්‍රිකා ජනාධිපති පැකේජය කියලා ව්‍යවස්ථා යෝජනාවක් 1995දී ගෙනාවා. කලාපවල එකමුතුවක් කියලයි කිව්වේ. ඒකීය භාවය අයින් කරලයි තිබුණේ. ඒ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම කියවූ ජේ. ආර්. ජයවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහත්තයව ගෙදරට ගෙන්නුවා. මේකට වහාම විරුද්ධ වෙන්න කියලා කිව්වා. ඒත් ඔහුගේ අවධානය ඒ සම්බන්ධයෙන් එතරම් යොමු වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ ගියාට පසුව සීයා මට කිව්වා මේක ගෙනාවොත් දකුණේ බිම් අඟලක්වත් ඉදිරි පරම්පරාවට නැති වෙන බව කිව්වා. එදා ගේන්න හදපු ව්‍යවස්ථා පැකේජයමද මේ ගේන්න හදන්නේ කියලයි අපි අහන්න ඕන.
මෙතරම් විවේචන තිබෙන ආණ්ඩුවකම සංවිධායක ධුරයක් භාර ගෙන කටයුතු කළ හැකිද?

ශ්‍රී ලනිප, ව්‍යවස්ථා ගැන දරන ස්ථාවරයේ විශාල ප්‍රශ්නයක් නැහැ. ඒ විධායක ජනාධිපති අහෝසි කිරීමට හා අනවශ්‍ය ප්‍රමාණයට බලය බෙදීමට විරුද්ධ වීමයි. ඒ වගේම ආර්ථික වැඩපිළිවෙළ දුව වන්නෙත් එජාපයයි. වෙන වෙන මත තියෙන නිසා ආයෝජකයන් තුළ නිවැරැදි පැහැදීමක් නැහැ. ‍ෙදාරවල් විවෘත කරගෙන හිටියට ආයෝජකයෝ එන්නේ නැහැ. ආයෝජකයන්ට මුවා වෙලා එන්නේ හොරුද කියලා හොයාගන්න ක්‍රමයක් අද නැහැ.

ඔබ ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප සංවිධායකවරයා. එහි සංවිධාන කටයුතු ගැනත් දැනගන්න කැමැතියි?
විශේෂයෙන්ම ගිය ගංවතුර කාලේ ආහාර සපයන්න මැදිහත් වුණේ මමයි. කුණුවලින් බලශක්තිය නිපදවන කර්මාන්ත ශාලාවක් පටන් ගන්නත් හැකිවුණා.
මැතිවරණවලට තරග කරන්න බලාපොරොත්තුවක් තිබෙනවද?

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලනිප නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවට තරග කරනවා. කොළඹ කියන්නේ ලංකාවේ හදවතයි. කොළඹ හදන්නේ නැතුව ලංකාව හදන්න බැහැ. පැල්පත්වාසීන්ගේ ප්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂ මහතා ටිකක් විසඳුවා. ඒවා ඉවර කරන්න ඕන. රථ වාහන තදබදය, අපද්‍රව්‍ය ගැටලු ඒ අතර තියෙනවා.
ඔබ කොළඹ මහ නගර සභාවට තරග කරන්නේ නගරාධිපති අපේක්ෂකයා ලෙසද?

ඔව්. එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. නගරාධිපති වුණොත් යම් කිසි දෙයක් කරන්න පුළුවන්. නැත්නම් අමාරුයි.
ඔබට ඒකාබද්ධ විපක්ෂයෙනුත් ආරාධනා ලැබුණු බව ආරංචියි?
බැසිල් රාජපක්ෂ මහත්තයත් මට නගාරාධිපති අපේක්ෂකයා විදියට එන්න කිව්වා. ඒත් මං කිව්වා මම මේ වෙලාවේ ඉන්නේ ශ්‍රී ලනිපෙ කියලා.
අවසන් මොහොත වෙන කොට කරණමක් ගහන්නත් හිතයිද දන්නේ නැහැ?
එහෙම අදහසක් නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්