ලංකාව නොකඩවා 11වැනි පරාජයත් ලබයි

  👤  2583 readers have read this article !
By mawbima 2017-10-23

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ මෙතෙක් පැවැති තරග හතරේදී ලද අවම ලකුණු සංඛාවට දැවී යාම හේතුවෙන් සාජා හිදී ශ්‍රී ලංකාවට කඩුලු 7ක අන්ත පරාජයක් හිමවූ අතර තරග 4-0ක් ලෙස පාකිස්තානයට තවදුරටත් ඉදිරියට යන්නට සිව්වැනි එක් දින තරගයෙන්ද ජය ගැනීමට පාදක වූයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් බාබර් අසාම් සහ ෂොයිබ් මලික් තැබූ ලකුණු 119ක නොබිඳුණ සබඳතාව සහ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉතාමත් දුර්වල පිතිහරඹයයි.

පසුගිය සිකුරාදා (20දා) සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන්නට ශ්‍රී ලංකා නායක උපුල් තරංග තීරණය කළද තම 214වැනි එක් දින තරගයට ක්‍රීඩා කළ තරංග මංගල එක් දින තරගයට සහභාගී වූ උස්මාන් ඛාන්ගේ වේග පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වද්දාගැනීමෙන් ලකුණු බින්දුවකට දැවී යාමෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ඇරැඹුනි. පන්දු 5කට පමණක් මුහුණ දුන් තරංග 2වැනි පන්දුවාරයේ 2වැනි පන්දුවට දැවීයාමෙන් පසුව පන්දු 16කින් වේගවත් ලකුණු 22ක් ලැබූ දික්වැල්ලද මුළු ලකුණු 30ක්වන විට දැවී ගිය අතර ඊට තවත් ලකුණු 29ක් එක් වෙද්දී චන්දිමාල් සහ තම ප්‍රථම එක් දින තරගයට ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම යන දෙදෙනාම දැවී ගියේය.

එක් දින කෝඩුකාර සධීර මුහුණ දුන් 2වැනි පන්දුවේදීම ඉමාඩ් වසීම්ගේ දඟපන්දුවට ලකුණු නොලබා දැවී යාමෙන් පසුව සුපුරුදු පරිදි සෙමින් ලකුණු ලබා ගත් තිරිමාන්න ලකුණු 62කුත් පසුපසින් පැමිණි ලක්මාල් නොදැවී 23කුත් ලබා ගැනීම නිසා 99ට කඩුලු 7ක් සේ වැටී සිටි ශ්‍රී ලංකා පිල ලකණු 173ක් සම්පුර්ණ කළද පන්දුවාර 44කටත් පෙර ශ්‍රී ලංකා පිල දැවී ගියේය. හසන් අලි , සදාබ් ඛාන් සහ ඉමාඩ් වසීම් ශ්‍රී ලංකා පිල පරාජය කරා ගෙන ගිය ප්‍රතිවාදී නියමුවන් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිතානුවන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ කඩුලු 3ක් වැය කරමින් පන්දුවාර 39ක් පමණි. මේ අනුව ලංකාව නොකඩවා ලැබූ 11වැනි එක් දින තරග පරාජයද වාර්තාකළේය.
ශ්‍රී ලංකාව

(පන්දුවාර 43යි පන්දු 4කදී කඩුලු 10කට) ලකුණු 173
නිරෝෂන් දික්වැල්ල 22, ළහිරු තිරිමාන්න 62, සුරංග ලක්මාල් නොදැවී 23
ඉමාඩ් වසීම් 13/2, හසන් අලි 37/3, ෂදාබ් ඛාන් 29/2
පාකිස්තානය
(පන්දුවාර 39කදී කඩුලු 3කට) ලකුණු 177
බාබර් අසාම් නොදැවී 69, ෂොයිබ් මලික් නොදැවී 69,
සීක්කුගේ ප්‍රසන්න 44/1, ළහිරු ගමගේ 27/1, අකිල ධනංජය 29/1

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්